ශ්‍රී ලංකාවෙන් නේපාලයට අමෙරිකානු ඩොලර් මිලියනයක මානුෂීය ආධාර ලබා දීමට තීරණය කර තිබේ.
ඊට අදාළව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය පහතින්.
මාධ්‍ය නිවේදනය
ශ්‍රී ලංකාවෙන් නේපාලයට ඇමරිකානු ඩොලර් මිලියනයක මානුෂීය ආධාර
ජීවිත හානි, අවතැන්වීම් සහ අති මහත් විනාශයක් සිදු කළ ව්‍යසනකාරී ගංවතුර සහ නායයෑම් හේතුවෙන් විපතට පත් නේපාල ජනතාව වෙත ශ්‍රී ලංකාව දක්වන සහයෝගිතාව පෙන්නුම් කරමින්, නේපාලයේ අඛණ්ඩ මානුෂිය සහ සහන කටයුතු සඳහා සහාය වීමේ ප්‍රයත්නයක් වශයෙන්, ඇමරිකානු ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් ලබා දෙන ලෙස අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රජයට උපදෙස් දී තිබේ.
මෙම ඛේදජනක ජිවිත හානි සහ ව්‍යසනයෙන් ඇති වූ පීඩාකාරී තත්ත්වය සම්බන්ධයෙන්, විශේෂයෙන් තම ආදරණීයන් අහිමි වූ පවුල් වලට, නේපාල රජයට සහ ජනතාවට, ශ්‍රී ලංකා රජය සහ ජනතාව වෙනුවෙන්, ජනාධිපතිවරයා සිය හෘදයාංගම ශෝකය පළ කළේය.
ශ්‍රී ලංකාව සහ නේපාලය අතර සමීප සහ දිගුකාලීන මිත්‍රත්වයේ සහ සහයෝගිතාවයේ බැඳීම් සිහිපත් කරමින්, මෙම හදිසි ව්‍යසනයේදී ශ්‍රී ලංකාව, නේපාල ජන්තාව සමඟ ශක්තිමත්ව අත්වැල් බැඳගන්නා බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.
ගංවතුර සහ නායයෑම් වලින් පීඩාවට පත් ප්‍රජාවන්ට ක්ෂණික සහන සහ මානුෂීය ආධාර සඳහා සහාය වීම මෙම මූල්‍ය දායකත්වයේ අරමුණයි.
අද උදෑසන, විදේශ අමාත්‍ය විජිත හේරත්, නේපාල විදේශ අමාත්‍ය ෂිසර් ඛනාල් සමඟ සංවාදයක යෙදෙමින්, ශ්‍රී ලංකාවේ ශෝකය, නේපාලය වෙත ලබාදෙන සහය සහ සහයෝගීතාව ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා රජය, නේපාල රජය සමඟ සමීපව කටයුතු කරන අතර, සහන සහ ප්‍රතිසාධන කටයුතු සඳහා ශ්‍රී ලංකාවට දායක විය හැකි ආකාර ගවේෂණය කිරීම අඛණ්ඩව සිදු කරනු ඇත.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
