ගෝලීය අවධානයට ලක් වූ ට්‍රම්ප්-ෂී (Trump-Xi) රාජ්‍යතාන්ත්‍රික හමුව හුදෙක් සබඳතාවල තාවකාලික ලිහිල් වීමක් නොව, ජාත්‍යන්තර සබඳතා දෘෂ්ටිකෝණයකින් බලන කල මහා බලවතුන් දෙදෙනෙකු අතර ඇති වූ “ස්ථාවරත්ව ගිවිසුමක්” (Stability Bargain) ලෙස අර්ථකථනය කළ හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය කුළණි විජයබාහු මහත්මිය පවසයි. මෙහිදී චීනයේ ස්ථාවරය සුවිශේෂ වන බවත් චීනය මෙම සාකච්ඡා දකින්නේ තම “ජාතික පුනර්ජීවනය” (National Rejuvenation) සඳහා අවශ්‍ය සාමකාමී බාහිර පරිසරය තහවුරු කරගැනීමේ උපායමාර්ගික පියවරක් ලෙස බවත් ඇය කියා සිටී. CGTN සිංහල සේවය සමග එක්වෙමින් ඇය පැවසුවේ මෙහිදී වඩාත් වැදගත් වන්නේ දෙරටේ නායකයන් “සංවර්ධනාත්මක උපායමාර්ගික ස්ථාවරත්ව සම්බන්ධතාවය” (Constructive Strategic Stability Relationship) යන සංකල්පය ගොඩනැගීමට එකඟ වීම බවයි.
මෙම නව ප්‍රවේශය හුදු රාජ්‍යතාන්ත්‍රික පාඨයක් නොව, තරගකාරීත්වය මධ්‍යයේ වුවද සහයෝගීතාවය සඳහා වන ක්‍රියාකාරී කැඳවීමකි. මෙහිදී ස්ථාවරත්වය කොටස් හතරකින් යුක්ත වේ: සහයෝගීතාවය මත පදනම් වූ ධනාත්මක ස්ථාවරත්වය, තරගකාරිත්වය පාලනය කළ හැකි සීමාවන් තුළ පවතින මෘදු ස්ථාවරත්වය, මතභේද කළමනාකරණය කරන සාමාන්‍යකරණ ස්ථාවරත්වය සහ සාමයේ පොරොන්දුව සහිත කල්පවතින ස්ථාවරත්වයයි.
බොහෝ විචාරකයින් මෙය “නව සීතල යුද්ධයක” ආකෘතිය ඔස්සේ විග්රහ කළද, පැරණි ඇමරිකානු-සෝවියට් ප්‍රතිවාදීත්වය මෙන් නොව වර්තමාන දෙරටේ ආර්ථිකයන් එකිනෙකට දැඩි ලෙස බද්ධ වී පවතී. එම නිසාම, අන්‍යෝන්‍ය සැකය පවතින අතරතුර පවා ගෝලීය අස්ථාවරත්වයේ පිරිවැය අවම කරගැනීමට වොෂින්ටනය සහ බෙයිජිං පාලනය යන දෙකම උත්සාහ කරයි. චීනයට තම දේශීය ආර්ථික වර්ධනය සහ තාක්ෂණික ස්වයංපෝෂිතභාවය ළඟා කර ගැනීමට නම් ගෝලීය වෙළඳ ස්ථාවරත්වය අත්‍යවශ්‍ය වේ. දේශගුණික පාලනය, AI නියාමනය සහ වෙළඳ ස්ථාවරත්වය වැනි ක්ෂේත්රවල සහයෝගීතාවය අපේක්ෂා කරන්නේ එබැවිනි. මෙම හමුවෙන් ඇමරිකානු පාලනය හමුවේ බොහෝ දුරට චීනයේ “මූලික අවශ්‍යතා” (Core Interests) ආරක්ෂා කර ගැනීමටත්, අනවශ්‍ය ගැටුම් මඟහරවා ගැනීමටත් හැකිවනු ඇති බව කුළණි විජයබාහු මහත්මිය පැවසීය.
කෙසේ වෙතත්, ව්‍යුහාත්මක වෙනස්කම් තවමත් නොවිසඳී පවතී. ලිබරල් ගෝලීය පර්යාය ආරක්ෂා කිරීමට ඇමරිකාව දරන උත්සාහයත්, බහුධ්‍රැවීය ලෝක රටාවක් සඳහා චීනය දරන උත්සාහයත් අතර ඝර්ෂණය දිගින් දිගටම පවතී. තායිවානය සහ තාක්ෂණික තරගකාරිත්වය තවමත් ප්‍රධාන අවදානම් කලාප ලෙස පවතින බව ඇය කියා සිටී.
එබැවින් මෙම හමුව “කළමනාකරණය කළ ප්රතිවාදීත්වයක” (Managed Rivalry) ඇරඹුමකි. තරගකාරිත්වය සුදුසු සීමාවන් තුළ පවත්වා ගනිමින් සහයෝගීතාවය පිළිබඳ ධනාත්මක ස්ථාවරත්වයක් දෙරටටම වාසිදායක ලෙස හසුරුවා, පවතින නොසන්සුන්තාවය පාලනය කිරීමට දෙපාර්ශ්වය තැබූ අඩිතාලම ගෝලීය ස්ථාවරත්වයේ කේන්ද්‍රස්ථානයක් වනු ඇතැයි ආචාර්ය කුළණි විජයබාහු මහත්මිය පැවසුවාය.
