චීන විදේශ ප්‍රතිපත්තිය පදනම් කරගනිමින් නිර්මාණය වූ චීන ජනාධිපතිවරයාගේ ගෝලීය පාලන මුලපිරුම වර්තමාන ලෝකයේ ඉතාමත් වැදගත් සහ වර්තමාන ලෝකය ඉල්ලා සිටින සංකල්පයක් බව කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ හිටපු පීඨාධිපති, දේශපාලන විශ්ලේෂක මහාචාර්ය ටියුඩර් වීරසිංහ මහතා පවසයි. චීන ජනාධිපතිවරයා ගෝලීය සංවර්ධන මුලපිරුම, ගෝලිය ආරක්ෂණ මුලපිරුම, ගෝලීය ශිෂ්ටාචාර මුලපිරුම, ගෝලීය පාලන මුලපිරුම ආදී චතුර්විධ සංකල්පයක් විදේශ ප්‍රතිපත්තිය පාදක කොටගෙන ඉදිරිපත් කර ඇත.
මෙවැනි සංකල්පයක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය පසුබිම ලෝකය තුළ මීට දශක 4කට පමණ පෙර නිර්මාණය වී තිබිණ. පෙර පැවති ද්විධ්රැවික ලෝක රටාව තුළ බල තුලනයක් පැවතිණ. එම බලතුලනය තුළ ආර්ථික, දේශපාලන සහ තාක්ෂණ යන කරුණු සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ප්රඥප්තියට අනුකූලව බහුපාර්ශ්වික ආයතන ඔස්සේ යම් ආකාරයකට ක්‍රියාත්මක විය. නමුත් සමාජවාදී පාලන ක්‍රමය සහ සෝවියට් සංගමය බිඳවැටීම තුළ ලෝක බල තුලනය වෙනස් වෙමින් ද්විධ්රැවික ලෝක රටාව ඒකධ්රැවික ලෝක රටාව බවට පරිවර්ථනය විය. 1990 සිට 2000 වසර දක්වා ලෝකය තුළ ගැටුම්කාරී තත්ත්වයන්, සංවර්ධනය වෙමින් පවතින රටවල්වලට ගෝලීය බටහිර කේන්ද්‍රීය රටවලින් එල්ල වන ආර්ථික සහ භූ දේශපාලනික බලපෑම ඉහළ ගියේය. මෙම තත්ත්වය තුළ ජාත්‍යන්තර තත්ත්වය ද්විධ්රැවික ලෝක රටාවට වඩා තරමක් නොසන්සුන් සහ ගුණාත්මකභාවයෙන් තොර තත්ත්වයක් බවට පරිවර්ථනය විය. නැගෙනහිර යුරෝපීය රටවල්, ලතින් ඇමරිකානු රටවල්, මැදපෙරදිග රටවල් අතර සිදු වූ අරාබි වසන්තය වැනි විප්ලවීය තත්ත්වයන් ලෝකය පුරාම අවිනිශ්චිත භාවයක් ඇති කළේය. අති බහුතරයක් වන ලෝක ජනතාවගේ ආර්ථික, සමාජීය, දේශපාලන හා සංස්කෘතික ප්‍රවර්ධනයට තීරණාත්මක බලපෑමක් එමගින් එල්ල වූ බව ටියුඩර් වීරසිංහ මහතා පැවසීය.
එවැනි බලපෑමක් තුළ චීනය සහ රුසියාව වැනි ප්රගතිශීලී රටවල නායකයින් මෙම තත්ත්වයෙන් මිදීම සඳහා නව සංකල්ප, නව අදහස්, ප්‍රතිපත්ති සහ නව ආකෘති හඳුන්වා දීමට ඉදිරිපත් විය. ඊට වඩාත් යථාර්ථවාදී සහ කාලීන ප්‍රතිචාරයක් ලෙසට චීන ජනාධිපතිවරයාගේ ගෝලීය පාලන මුලපිරුම යන සංකල්පය වැදගත් වේ. මෙම සංකල්පය තුළ වර්තමාන ලෝකයට ප්‍රධාන මූලධර්ම කීපයක් තීරණාත්මකව සහ සාධනීය ලෙස මගපෙන්වීමක් කර ඇත. සංවර්ධනය වෙමින් පවතින රටවල ප්‍රශ්න, ජාත්‍යන්තර සම්බන්ධතා සහ භූ දේශපාලන ක්ෂේත්රයේ ගැටලු නිරාකරණයට හෝ ප්‍රති හැඩගස්වා ගැනීම සඳහා චීන ජනාධිපතිවරයාගේ සංකල්පය ඉවහල් වේ. එහි ඇති ස්වෛරී සමානාත්මතාවයට ගරු කිරීම වැදගත් මූලධර්මයකි. ද්විධ්‍රැවීය ලෝක රටාවෙන් පසු ඒක ධ්‍රැවීය ලෝක රටාව තුළ ඇමරිකාව ප්රමුඛ බටහිර රටවල් සංවර්ධනය වෙමින් පවතින රටවල ස්වෛරීත්වය නොසලකා, ඊට ගරු නොකොට තම රටවල ප්‍රශ්න විසඳා ගැනීමට මෙම රටවල සම්පත් යොදා ගැනීමේ ආක්‍රමණශීලී විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බලය නොසලකා හැරීමේ තත්ත්ව සහ ජාත්‍යන්තර නීතියේ ආධිපත්‍යය බිඳ වැටීම තුළ එම තත්ත්වය මගහරවා ගැනීමට චීන ජනාධිපතිවරයා ඉදිරිපත් කළ ගෝලීය පාලන මුලපිරුම ජාත්‍යන්තර නීතියට ගරු කිරීම සහ ඊට අනුගත වීමටත් සියලුම රටවලට පිළිගැනීමක් ලබා දීමටත් මාවතක් විවර කර ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ හිටපු පීඨාධිපති, දේශපාලන විශ්ලේෂක මහාචාර්ය ටියුඩර් වීරසිංහ මහතා සඳහන් කළේය.
