2026 COP17 සමුළුව ශ්‍රී ලංකාවට සුවිශේෂී අවස්ථාවක් වූ අතර, ශ්‍රී ලංකාවේ පරිසර අමාත්‍යවරයෙකු ප්‍රථම වරට UNCCD High-Level Segment සඳහා සහභාගී වීමද විශේෂත්වයකි. සාකච්ඡාවේදී මානව- වනජීවී ගැටුම් කළමනා කරණය, වන ආවරණය හා ජෛව විවිධත්ව සංරක්ෂණය, සංවේදී පරිසර පද්ධති හා රක්ෂිත ප්‍රදේශ ආරක්ෂා කිරීම ඇතුළු කරුණු පිළිබඳව අදහස් හුවමාරු විය.
පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා සහ ඉන්දීය පරිසර, වන සම්පත් හා දේශගුණික විපර්යාස අමාත්‍ය ශ්‍රී භූපේන්දර් යාදව් මහතා (Shri Bhupender Yadav) අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් ඊයේ (24) දින ප්‍රධාන සමුළුවට සමගාමිව පැවැති අතර එහිදි කලාපිය වශයෙන් සමීප රටවල් ලෙස දෙරටට බලපා තිබෙන පොදු පාරිසරික ගැටලු සම්බන්ධයෙන් දිර්ඝ ලෙස අවධානයට යොමු කරන ලදී.
එක්සත් ජාතීන්ගේ කාන්තාරකරණය හා නියඟය පිටුදැකීමේ සම්මුතියේ (UNCCD) 17 වන පාර්ශවකරුවන්ගේ මහා සම්මේලනය (COP17) “Restoring Land. Restoring Hope.” යන තේමාව යටතේ 2026 අගෝස්තු 17 සිට 28 දක්වා මොන්ගෝලියාවේ උලාන්බාටාර් නගරයේදී පැවැත්වේ. කාන්තාරකරණය, භූමි හායනය සහ නියඟය යන අන්තර් සම්බන්ධිත ගෝලීය අභියෝග සඳහා තිරසාර විසඳුම් සෙවීම සහ ඒ සඳහා ජාත්‍යන්තර ක්‍රියාමාර්ග තවදුරටත් ශක්තිමත් කිරීම මෙම සමුළුවේ ප්‍රධාන අරමුණ වේ.
මෙම හමුවේදි ශ්‍රී ලංකාව විසින් අලිමිනිස් ගැටුම් අවම කිරීම සඳහා පරිසර අමාත්‍යංශය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳවද ඉන්දීය පාර්ශ්වය දැනුවත් කළ අතර දේශ සීමා හරහා සිදුවන වායු දුෂණය සම්බන්ධයෙන් කලාපීය සහයෝගීතාව, Male Declaration යටතේ වායු දූෂක ඒකාබද්ධව නිරීක්ෂණය කිරීම සහ තත් කාලීන දත්ත හුවමාරු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කෙරිණ.
ශ්‍රී ලංකාවේ උතුරු මුහුදු ප්‍රදේශ ආශ්රිත IUU මසුන් ඇල්ලීම සහ Bottom Trawling හේතුවෙන් සාගර පරිසර පද්ධති, ජෛව විවිධත්වය සහ වෙරළබඩ ධීවර ජනතාවගේ ජීවනෝපායන්ට ඇතිවන බලපෑම් පිළිබඳවද මෙම සාකච්ඡාවේදි අවධානය යෙමු වු අතර ඒකාබද්ධ නිරීක්ෂණ හා නීතිය ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණ ශක්තිමත් කිරීම සහ තිරසාර ධීවර ක්‍රම ප්‍රර්වර්ධනය කිරීමේ වැදගත්කම අවධාරණය කරන ලදී.
තවද, දේශගුණික විපර්යාස හේතුවෙන් දකුණු ආසියාවේ වර්ධනය වන උෂ්ණ තරංග සහ නාගරික Heat Island Effect සඳහා මුහුණදීම, අවදානමට ලක්වන ජනතාව ආරක්ෂා කිරීම සහ ඉන්දියාවේ ක්‍රියාත්මක නිවැරදි භාවිතයන් පිළිබඳවද අදහස් හුවමාරු විය. වනජීවී සංරක්ෂණ ක්ෂේත්රයේ සහයෝගීතාව පුළුල් කිරීම, ශ්‍රී ලංකාව International Big Cat Alliance සමඟ එක්වීමෙන් පසු පුහුණු හා අත්දැකීම් හුවමාරු අවස්ථා වැඩි කිරීම, ඉන්දියාවේ Wildlife Institute of India, Dehradun මගින් ලබාදුන් වනජීවී සංරක්ෂණ කළමනා කරණ පුහුණු අවස්ථා නැවත ආරම්භ කිරීම පිළිබඳව ද සාකච්ඡා විය.
ශ්‍රී ලංකා පාර්ශ්වය දැනටමත් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සමඟ ඒ සඳහා සම්බන්ධීකරණ කටයුතු සිදු කර ඇති බව දැනුම් දුන් අතර, ශ්‍රී ලංකාවට වැඩි පුහුණු හා අත්දැකීම් හුවමාරු අවස්ථා ලබාදීමට ඉන්දීය අමාත්‍යවරයා එකඟතාව පළ කළේය. කැණීම් සිදු කළ ප්‍රදේශ ප්‍රතිස්ථාපනය කිරීම, නාගරික හරිත උද්‍යාන ස්ථාපිත කිරීම සහ එල් – නීනෝ ( El Niño) තත්ත්වයන්ගේ බලපෑම් පිළිබඳව ද කලාපිය වශයෙන් එහි ඇති බලපෑමද පිළිබඳවද දිර්ඝ ලෙස අදහස් හුවමාරු විය.
මෙම අවස්ථාවේදි පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා ශ්‍රී ලංකාව විසින් UNCCD ආසියා – පැසිෆික් කලාපීය සභාපතිත්වය ඉන්දියාවට හිමිවීම සම්බන්ධයෙන් සුබ පැතුම් පළ කළ අතර, පසු ගිය දිට්වා සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාවට ඉන්දීය රජය ලබා දුන් සහයෝගය සිහිපත් කරමින් ස්තූතිය පළ කළේය .
සමස්තයක් ලෙස, මෙම සාකච්ඡාව මගින් පරිසර හා වනජීවී සංරක්ෂණය, දේශගුණික විපර්යාසයන්ට අනුවර්තනය වීම, වායු දූෂණය පාලනය, සාගර පරිසර පද්ධති ආරක්ෂාව සහ වනජීවී පුහුණු හා තාක්ෂණික සහයෝගීතාව ඇතුළු ක්ෂේත්‍ර රැසක ඉන්දු – ශ්‍රී ලංකා පාරිසරික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා වැදගත් පදනමක් සපයයි.
ශ්‍රී ලංකාව දේශගුණික විපර්යාස, නියඟය, ජල හිඟය සහ භූමි හායනය වැනි පාරිසරික අභියෝගවලට වැඩි වශයෙන් නිරාවරණය වන රටක් වන අතර, එම තත්ත්වයන් කෘෂිකර්මාන්තය, ආහාර සුරක්ෂිතතාව සහ ජනතාවගේ ජීවනෝපායන් කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කරයි.
එබැවින්, වත්මන් දේශගුණික අභියෝග හමුවේ UNCCD -COP17 සමුළුව, ශ්‍රී ලංකාවට නියඟ අවදානම් කළමනාකරණය, තිරසාර භූමි හා ජල කළමනාකරණය මෙන්ම දේශගුණික විපර්යාසවල අහිතකර බලපෑම්වලට ඔරොත්තු දීමේ ජාතික හැකියාව තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා වැදගත් ජාත්‍යන්තර වේදිකාවක් ලෙස සැලකිය හැකිය.
මෙහිදී නියඟයට ඔරොත්තු දෙන කෘෂිකාර්මික ක්‍රම, කාර්යක්ෂම ජල කළමනාකරණ තාක්ෂණ, භූමි ප්‍රතිස්ථාපනය සහ පස සංරක්ෂණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර තාක්ෂණික සහයෝගීතාව හා හවුල්කාරිත්වයන් වර්ධනය කර ගැනීමටත්, ශ්‍රී ලංකාවේ LDN ඉලක්ක ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික හා මූල්‍ය සහාය ලබා ගැනීමටත් අවස්ථාව සැලසේ. එමෙන්ම, භූමි ප්‍රතිස්ථාපනය හා නියඟයට ඔරොත්තු දීමේ වැඩසටහන් සඳහා ජාත්‍යන්තර ආයෝජන හා හවුල්කාරිත්වයන් ආකර්ෂණය කර ගැනීමටද මෙය වැදගත් අවස්ථාවකි.පරිසර අමාත්‍යාංශයේ නියෝජිත කණ්ඩායම UNCCD- COP17 සමුළුවේ මෙතෙක් පැවති විවිධ නිල සැසි, තාක්ෂණික සාකච්ඡා, දැනුම් හුවමාරු වැඩසටහන් සහ සමගාමී වැඩසටහන් සඳහා සක්‍රීයව සහභාගී විය.
ශ්‍රී ලංකාවේ UNCCD කේන්ද්‍රීය මධ්‍යස්ථානය ලෙස පරිසර අමාත්‍යාංශය විසින් සිදුකරනු ලබන කාර්යභාරය එහි ප්‍රගතිය පිළිබඳව දැනුවත් කිරීම මෙන්ම International Water Management Institute (IWMI) විසින් සංවිධානය කළ Drought Action Catalyst Strategies සහ Acting Before Shock: El Niño 2026 සැසිවලදී ආහාර, ජලය සහ දේශගුණික සුරක්ෂිතතාව සඳහා පූර්ව සූදානම පිළිබඳ පැවති සාකච්ඡා මණ්ඩප වල ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සමාජිකයන් ලෙස සක්‍රීයව දායකත්වය සපයා ඇත.
එමෙන්ම, UNCCD වාර්තාකරණය ශක්තිමත් කිරීම සහ LDN ඉලක්ක සාක්ෂාත් කර ගැනීම, Rio සම්මුතින්හි සමෝදානයන් සහ ජාතික ප්‍රතිපත්ති අතර සම්බන්ධතාව ශක්තිමත් කිරීම සඳහා කෘත්‍රිම බුද්ධිය (AI) භාවිත කිරීම, ජාතික නියඟ සැලසුම් සඳහා ආයෝජන අවස්ථා පුළුල් කිරීම වැනි වැදගත් කරුණු පිළිබඳ සැසි සඳහාද, UNDP, WOCAT/CDE, University of Bern ඇතුළු හවුල්කරුවන් සමඟ ක්‍රියාත්මක වන DS4LDN ව්‍යාපෘතියේ ආරම්භක සැසිය සඳහාද පැවති සාකච්ඡා මණ්ඩප වල ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සමාජිකයන් ලෙස දායකත්වය ලබා දී ඇත.ඒ අනුව, UNCCD COP17 ශ්‍රී ලංකාවට නියඟයට ඔරොත්තු දෙන, භූමි හායනයෙන් තොර සහ තිරසාර අනාගතයක් ගොඩනැගීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතාව, දැනුම, තාක්ෂණය සහ මූල්‍ය සම්පත් සම්බන්ධ කර ගැනීමට ලැබෙන වැදගත් අවස්ථාවක් ලෙස සැලකේ.
