විදේශීය පද්ධති මෘදුකාංග සහිත මුද්‍රණ සහ පිටපත් කිරීමේ පහසුකම් ඇති ආනයනික කාර්යාල උපකරණ පිළිබඳව ජාතික ආරක්ෂක විමර්ශනයක් ආරම්භ කරන බව චීන වාණිජ අමාත්‍යාංශය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් ඊයේ(05) මේ බව සඳහන් කර ඇති අතර එහිදී එම අමාත්‍යාංශය පෙන්වා දී ඇත්තේ, ලැබී ඇති මූලික තොරතුරු වලට අනුව ආනයනය කෙරෙන එවැනි කාර්යාල උපකරණ, විදේශ වෙළඳාමට අදාළ ජාතික ආරක්ෂක අභිලාෂයන්ට බලපෑම් කළ හැකි බවයි.
නිවේදනයට අනුව විදේශීය පද්ධති මෘදුකාංග ලෙස මෙහිදී අදහස් කර ඇත්තේ, විදේශීය පුද්ගලයන් හෝ ආයතන විසින් සංවර්ධනය කරන ලද, පරීක්ෂා කරන ලද හෝ නඩත්තු කරන ලද ධාවක මෘදුකාංග සහ අන්තර්ගත මෘදුකාංග වේ.
මෙම විදෙස් මෘදුකාංගයන්ට අදාළ විමර්ශනයේදී, ආනයනය කෙරෙන නිෂ්පාදන මගින් ඇති කෙරෙන බලපෑම මූලික කරගත් ප්‍රධාන කරුණු කිහිපයක් වෙත විශේෂ අවධානයක් යොමු වන බව චීන වාණිජ අමාත්‍යාංශය සඳහන් කර තිබේ.
ඒ අනුව ජාතික ආරක්ෂක අභිලාෂයන් සඳහා ආනයනික නිෂ්පාදනයන්ගේ තාක්ෂණික ක්‍රම හෝ සේවාවන්හි බලපෑමත්, විදේශීය භාණ්ඩ හා එම තාක්ෂණය සහ සේවා මත යැපෙන ප්‍රමාණය මෙන්ම ඒ සඳහා වන දේශීය ඉල්ලුම ද එහිදී අවධානය යොමු වන කරුණු අතර වේ.
එමෙන්ම අදාළ විදෙස් උපකරණ නිපදවන දේශීය කර්මාන්තවල සංවර්ධන තත්ත්වය සහ ආනයන මගින් එම දේශීය කර්මාන්ත සඳහා ඇති කෙරෙන බලපෑම පිළිබඳවත්, ජාතික ආරක්ෂක අභිලාෂයන් වෙනුවෙන් දේශීය ඉල්ලුම සපුරාලීමට එම කර්මාන්ත සතු හැකියාව පිළිබඳවත් අදාළ විමර්ශනයේදී පරීක්ෂාවට ලක් කෙරෙන බව සඳහන්ව තිබේ.
තවද, චීනයේ ජාතික ආරක්ෂක අභිලාෂයන් කෙරෙහි අදාළ විදේශීය රාජ්‍ය ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ගයන්හි බලපෑම මෙන්ම, විදේශ වෙළඳාමේ ජාතික ආරක්ෂක අභිලාෂයන් වෙත බලපාන්නා වූ වෙනත් ඕනෑම කරුණක් ද මින් පරීක්ෂාවට ලක් කෙරෙන බව චීන වාණිජ අමාත්‍යාංශය වැඩිදුරටත් දන්වා ඇත.
