2027 වසරේ ප්‍රාග්ධන වියදම් ලෙස රුපියල් ට්‍රිලියන දෙකක් වෙන් කිරීමට සැලසුම්

2027 වසරේ ප්‍රාග්ධන වියදම් ලෙස රුපියල් ට්‍රිලියන දෙකක් වෙන් කිරීමට සැලසුම්

2027 වසරේ ප්‍රාග්ධන වියදම් ලෙස රුපියල් ට්‍රිලියන දෙකක් වෙන් කිරීමට සැලසුම් කර තිබෙන බවත්, එය 40%ක පමණ වැඩිවීමක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ(28) පස්වරුවේ පැවති ගාල්ල දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක් වෙමිනි.

වැඩි ප්‍රතිපාදන ප්‍රමාණයක් රාජ්‍ය පවත්වාගෙන යාම වෙනුවෙන් වැය කිරීම ජනතාවගේ පාර්ශ්වයෙන් කිසිසේත් සාධාරණ නොවන බවත්, ඒ අනුව 9%ක මට්ටමක පවතින පුනරාවර්තන වියදම් අඩු කර ගනිමින්, 4%ක් වන ප්‍රාග්ධන වියදම් ඉහළ නැංවීමේ අරමුණ ඇතිව ඉදිරි වසරේ ආර්ථික සැලසුම් සකස් කර තිබෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

2026 අයවැය ප්‍රතිපාදන යටතේ ගාල්ල දිස්ත්‍රික් සංවර්ධන සැලැස්ම ඇතුළුව ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් ක්‍රියාත්මක කරන ලද සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ 2027 මූල්‍ය අවශ්‍යතා පිළිබඳව ද මෙහිදී පුළුල් ලෙස විමසා බැලිණි.

භාණ්ඩාගාරයට ලැබෙන සෑම රුපියලක්ම රටේ සංවර්ධනය සහ උන්නතිය උදෙසා යෙදවීම අපේක්ෂාව බව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා අනාගත පරපුරට ණය ගෙවීමට සිදු නොවන, මූල්‍ය විනයක් සහිත රටක් ගොඩනැගීම රජයේ අපේක්ෂාව බව ද සඳහන් කළේය.

ජාත්‍යන්තර වාර්තා තුළ මේ වන විට ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රගතිය සහ සමාජ දර්ශක පිළිබද ඇගයීම් යහපත් මට්ටමක පවතින බවත්, එක් යුගයක ණය ගෙවා ගත නොහැකි වූ, දූෂණය සහ සමාජ අපරාධ පිරුණු රටක් ලෙස ජාත්‍යන්තරයේ කතා බහට ලක් වු අපේ රට අද ප්‍රශස්ත ආර්ථිකයක් සහිත සහ දූෂණය අවම වූ රටක් ලෙස ජාත්‍යන්තරයේ ඇගයීමට ලක්ව තිබෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ ජනතාවට නිවසේ සිට සිය සේවා ඉටුකරගත හැකි අන්දමින් රාජ්‍ය සේවය ඩිජිටල්කරණයට, රජය ඉදිරි අයවැයෙන් විශේෂ අවධානය යොමු කර තිබෙන බවත්, රාජ්‍ය සේවයේ අත්දැකීම් සහිත සහ නිපුණතාවක් ඇති වෘත්තිකයන් රඳවා ගැනීම සඳහා තෝරාගත් ක්ෂේත්‍ර කිහිපයක විශ්‍රාම ගැන්වීමේ වයස ඉහළ නැංවීමට ද අවධානය යොමුව තිබෙන බවත් ජනාධිතිපතිවරයා සඳහන් කළේය.

රාජ්‍ය අංශය රැකියා පුරවන තැනක් බවට පත් කරමින් රාජ්‍ය දේහය කඩා දැමීම හේතුවෙන් අහිතකර ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවු බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා රැකියා ඇතිවන එළියේ ආර්ථිකයක් ගොඩනැගීම රජයක වගකීම බවත්, ඒ තුළින් තරුණ තරුණියන්ට රැකියා අවස්ථා උදාකර දිය හැකි බවත් පෙන්වා දුන්නේය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *