වයස අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය අවම කිරීම සඳහා මේ වන විට ක්‍රියාත්මක කර ඇති නියමු ව්‍යාපෘතිය සාර්ථක බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පාර්ලිමේන්තුවේදී ඊයේ(08) ප්‍රකාශ කළාය. වයස අවුරුදු 16ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීම හා සීමා කිරීම සම්බන්ධයෙන් අදාළ පාර්ශ්වයන්ගෙන් යෝජනා ලබාගැනීම සඳහා වන මූලික සාකච්ඡාවක් විවිධ ආයතන සම්බන්ධ කරගනිමින් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය විසින් ආරම්භ කර ඇති බවද අගමැතිවරිය පැවසුවාය.
අගමැතිනිය මේ බව සඳහන් කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා අගමැතිවරියගෙන් විමසන ප්‍රශ්න වටය යටතේ මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි. දරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය හේතුවෙන් ඇති විය හැකි සමාජීය, මානසික හා සෞඛ්‍යමය බලපෑම්, ඩිජිටල් ආරක්ෂාව සහ ජාත්‍යන්තර අත්දැකීම් පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බව ද එහිදී අගමැතිනිනිය සඳහන් කළාය. ඒ අනුව අවුරුදු 16ට අඩු දරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය අවම කිරීම සඳහා ජාතික මාර්ගෝපදේශ සංග්‍රහයක් සකස් කිරීමටත් අවධානය යොමුව ඇති බවද ඇය සඳහන් කළාය.
