පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම, රාජකාරිය පැහැර හැරීම සහ මිනීමැරීමට අනුබල දීමේ චෝදනාවලට වැරදිකරු කරමින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරු මඬුල්ල විසින් මරණීය දණ්ඩනය නියම කළේය.
මෙම නඩුව අද (31) ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාග විය.
2022 වසරේදී අදාළ නඩුවෙන් විත්තිකරුවන් දෙදෙනා නිදොස් කොට නිදහස් කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් තීරණය කළ අතර ඊට එරෙහිව නීතිපතිවරයා ගොනුකළ අභියාචනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නියෝගය ප්‍රකාරව මෙම නඩුවේ විත්තියේ සාක්ෂි කැඳවීම යළි සිදු කෙරිණි.
ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදී පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම තුළ සාපරාධි ලෙස වගකීම් පැහැර හරිමින් පුද්ගලයින් 275 දෙනෙකුගේ මරණය සිදු කිරීම සහ 500කට ආසන්න පිරිසකට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්ද මහතාට සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ චෝදනා 855ක් යටතේ අධි චෝදනා ගොනු කළේය.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව 2022 වසරේ පෙබරවාරි 18 වැනිදා එම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කළ නාමල් බලල්ලේ, මොහොමඩ් ඉර්ෂඩීන් සහ ආදිත්‍ය පටබැඳිගේ වන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර නිදොස් කොට නිදහස් කිරීමට තීරණය කළහ.
විත්ති වාචික කැඳවීමකින් තොරවම ලබාදුන් එම තීන්දුව තුළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල කියා සිටියේ ප්‍රහාරය සම්බන්ධයෙන් නිශ්චිත බුද්ධි තොරතුරු සැපයීමට රාජ්‍ය බුද්ධි සේවය අසමත් වී ඇති අතර ඒ තුළ එවකට රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන සිය වගකීම් පැහැර හැර ඇති බවය.
එවැනි පසුබිමක් මත හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ සහ හිටපු පොලිස්පතිවරයා රාජකාරි පැහැර හැරීම සම්බන්ධයෙන් චේතනාව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇතැයි සිය තීන්දුවෙන් මහාධිකරණ විනිසුරු මඩුල්ල පෙන්වා දී තිබිණ.
පසුව එහි තීන්දුව 2024 නොවැම්බර් මස 05 වන දින ලබා දුන් පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විත්තිකරුවන් දෙදෙනා නිදොස් කොට නිදහස් කරමින් මහාධිකරණය දුන් තීන්දුව බල රහිත කරමින් නැවත නඩුවේ විත්තිවාචකය කැඳවන ලෙස මහාධිකරණයට නියෝග කළේය.
ඒ අනුව ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ විත්තිවාචික කැඳවමින් නඩු විභාගය යළි කැඳවීමට පියවර ගැනිණ.
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව පැවති මෙම නඩුවේදී බෙදුණු තීන්දුවක් ලැබිණ.
ඒ අනුව එම විනිසුරු මඩුල්ලේ ප්‍රියන්ත ලියනගේ සහ තිලකරත්න බණ්ඩාර යන විනිසුරුවරු සිය බහුතර තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විත්තිකරුවන් දෙදෙනාට මරණ දඬුවම නියම කළ අතර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ විනිසුරු විරාජ් වීරසූරිය මහතා විත්තිකරුවන්ට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී නැති බැවින් ඒ අනුව ඔවුන් නිදොස් කොට නිදහස් කරන බවත් නිවේදනය කළේය.
නඩුවේ නියෝගය ප්‍රකාශයට පත් කරමින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා පැවසුවේ විත්තිකරු පැමිණිල්ල විසින් එල්ල කර තිබූ චෝදනා 855 න් චෝදනා 854 කටම වරදකරු කරන බවය.
පාස්කු ප්‍රහාරය එල්ල වීමට නියමිත බවට විත්තිකරුට දැනුම් දී තිබුණු බවත් නමුත් ආරක්ෂක ලේකම්වරයා ලෙස ඔහු කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් විනිසුරුවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
පසුගිය 2019 වසරේ අප්‍රේල් 21 වැනි පාස්කු ඉරුදින උදෑසන 8.45ට පමණ මෙරට ක්‍රිස්තියානි පල්ලි තුනක් සහ කොළඹ පිහිටි සුඛෝපභෝගී හෝටල් තුනක් ඉලක්ක කරගනිමින් ඉස්ලාමීය ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් මරාගෙන මැරරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළේය.
මීට අමතරව එදිනම දෙහිවල ප්‍රදේශයේ හෝටලයක සහ දෙමටගොඩ ප්‍රදේශයේ නිවාසයකද පිපිරීම් වාර්තා විය.
එම ප්‍රහාරවලින් පුද්ගලයින් 270කට අධික පිරිසක් මරණයට පත්වූ අතර තවත් 500කට අධික ප්‍රමාණයක් තුවාල ලැබීය.
