6 වන ශ්‍රී ලංකා – පාකිස්ථාන ආරක්ෂක සංවාදයට සහභාගී වීම සඳහා පාකිස්ථාන ඉස්ලාමීය ජනරජයේ ආරක්ෂක ලේකම්, (විශ්‍රාමික) ලුතිනන් ජෙනරල් මුහම්මද් අලි (Muhammad Ali) මහතා ඇතුළු දූත පිරිසක් නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ ඇත.
ඊයේ (01) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණි එම දූත පිරිස ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
ගුවන්තොටුපළ විශේෂ අමුත්තන්ගේ පර්යන්තයේදී පාකිස්ථාන ආරක්ෂක ලේකම්වරයා පිළිගැනීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන) හර්ෂ විතානාරච්චි මහතා එක්ව සිටියේය. මීට අමතරව ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ නාවික හමුදාව නියෝජනය කළ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම මෙරට පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ උසස් නිලධාරීන් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කෙරෙන 6 වන ශ්‍රී ලංකා – පාකිස්ථාන ආරක්ෂක සංවාදය හෙට (03) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි නාවික හමුදා මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතය. මෙම ඉහළ මට්ටමේ ද්විපාර්ශ්වික සාකච්ඡාවේදී කලාපීය ආරක්ෂාව, ආරක්ෂක සහයෝගීතාව, ඒකාබද්ධ පුහුණු කිරීම් සහ දෙරට අතර පවතින දිගුකාලීන ආරක්ෂක හවුල්කාරිත්වය තවදුරටත් පුළුල් කරගැනීම පිළිබඳව අදහස් හුවමාරු කර ගැනීමට නියමිතව තිබේ.
මෙම නිල සංචාරය අතරතුරදී පාකිස්ථාන ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) ලුතිනන් ජෙනරල් මුහම්මද් අලි මහතා, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී විශේෂ සාකච්ඡාවක නිරත වීමට නියමිතය. මීට අමතරව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය (විශ්‍රාමික) මේජර් ජෙනරල් අරුණ ජයසේකර සහ ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා යන මහත්වරුන් සමඟ ද ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.
