රුසියානු පෙඩරාල් කවුන්සිලයේ සභාපතිනි Valentina Ivanovna Matviyenko මහත්මිය සහ රාජ්‍ය ඩූමා සභාපති Vyacheslav Volodin මහතාගේ ආරාධනයෙන්, චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති Zhao Leji මහතා මැයි 27වනදා සිට 30වනදා දක්වා රුසියාවේ නිල සංචාරයක නිරත විය. ඔහු Valentina Ivanovna Matviyenko මහත්මිය සහ Vyacheslav Volodin මහතා සමඟ මොස්කව්හිදී වෙන් වෙන්ව සාකච්ඡා පැවැත්වූ අතර චීන-රුසියා පාර්ලිමේන්තු සහයෝගීතා කමිටුවේ 11 වන රැස්වීමට සහභාගී විය.
චීනය රුසියාව සමග දෙරටේ රාජ්‍ය නායකයින් අතර වැදගත් එකඟතාවන් සම්පූර්ණ ලෙස ක්‍රියාත්මක කිරීමට කැමැත්තෙන් සිටින බව රුසියාවේ පාර්ලිමේන්තු නායකයින් සමඟ සාකච්ඡා අතරතුර , Zhao Leji මහතා ප්‍රකාශ කළේය. චීනය සහ රුසියාව අතර උපායමාර්ගික සම්බන්ධීකරණ හවුල්කාරිත්වය ස්ථාපිත කිරීමේ 30 වන සංවත්සරය සහ දෙරට අතර යහපත් අසල්වැසි සහ මිත්‍රශීලී සහයෝගීතා ගිවිසුම අත්සන් කිරීමේ 25 වන සංවත්සරය අවස්ථාවක් ලෙස ගනිමින්, සාම්ප්‍රදායික මිත්‍රත්වය උරුම කර ගෙන, උපායමාර්ගික අන්‍යෝන්‍ය විශ්වාසය වැඩි දියුණු කිරීමටත් අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගීතාව පුළුල් කිරීමටත් බලාපොරොත්තු වන බව ද ඔහු කීය. මේ තුළින් චීන-රුසියා සබඳතාවල උසස් තත්ත්වයේ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බව ද Zhao Leji මහතා ප්‍රකාශ කළේය.
මේ අතර මැයි 28 වනදා චීන-රුසියානු පාර්ලිමේන්තු සහයෝගිතා කමිටුවේ 11 වන රැස්වීමට Zhao Leji මහතා සහභාගී විය. දෙරටේ ව්‍යවස්ථාදායක ආයතන ද්විපාර්ශ්වික සහයෝගීතාවයට හිතකර නීතිමය ලියකියවිලිවලට කඩිනමින් අනුමැතිය ලබා දිය යුතු අතර, එහි ක්‍රියාත්මක කිරීමේ තත්ත්වය අධීක්ෂණය කළ යුතු බවත් විනිවිද, සාධාරණ සහ ස්ථාවර ව්‍යාපාරික පරිසරයක් නිර්මාණය කළ යුතු බවත් එම අවස්ථාවේදී ඔහු පෙන්වා දුන්නේය. ජාත්‍යන්තර සාධාරණත්වය සහ යුක්තිය ප්‍රවර්ධනය කිරීම සඳහා අන්තර් පාර්ලිමේන්තු සංගමය ඇතුළු බහුපාර්ශ්වික යාන්ත්‍රණයන් තුළ සහයෝගීතාව ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය ද ඔහු අවධාරණය කළේය.
