චීන විදේශ අමාත්‍ය Wang Yi මහතා ඉරාන විදේශ අමාත්‍ය Abbas Araqchi මහතා හමු වෙයි. චීනයේ බෙයිජිංහිදී අද(16) එම හමුව සිදු විය.
යුද ගැටුම් හේතුවෙන් මැදපෙරදිග කලාපය තවදුරටත් අස්ථාවරව පවතින බවත්, එය ජාත්‍යන්තර සාමය සහ සංවර්ධනය කෙරෙහි දැඩි ලෙස බලපාන බවත් Wang Yi මහතා එහිදී ප්‍රකාශ කළේය. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයෙකු ලෙස,ජාත්‍යන්තර ආරවුල් විසඳීමේදී නිර්මාණාත්මක කාර්යභාරයක් ඉටු කිරීමට චීනය කැමැත්තෙන් පසුවන බවත් හෙතෙම පැවසීය. උද්ගතව ඇති තත්ත්වය තවදුරටත් සංකීර්ණ කිරීම නවතන ලෙසත්,සාකච්ඡා සහ ඊට අදාළ ක්‍රියාවලීන් මගින් ගැටලු විසඳා ගන්නා ලෙසත් විවිධ පාර්ශ්වයන්ගෙන් චීනය ඉල්ලා සිටින බව ද ඔහු ප්‍රකාශ කළේය.
ඉරානය සම්බන්ධයෙන් චීනය අනුගමනය කරන ප්‍රතිපත්තිය තුළ අඛණ්ඩතාවය සහ ස්ථාවරත්වය පවත්වා ගනිමින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සහ බහුපාර්ශ්වික වේදිකා තුළ නිරන්තරයෙන් යුක්තිය වෙනුවෙන් පෙනී සිටිමින්,බලය භාවිත කිරීමට විරුද්ධ වන බවත්, ජාත්‍යන්තර සබඳතා පාලනය කිරීමේ සම්මතයන් ආරක්ෂා කරන බවත් Wang Yi මහතා සඳහන් කළේය. චීන-ඉරාන සබඳතා ඉදිරියට ගෙන යාම සඳහා ඉරානය සමග සන්නිවේදනය සහ සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට චීනය කැමැත්තෙන් පසුවන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඉදිරිපත් කළ මැදපෙරදිග සාමය හා ස්ථාවරත්වය පවත්වාගෙන යාම සඳහා වන කරුණු හතරකින් යුත් යෝජනාව සහ කලාපය තුළ පොදු ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීම සඳහා වන කරුණු හතරකින් යුත් මුලපිරීම ඉරානය සාදරයෙන් පිළිගන්නා බවත් ඊට සහාය පළ කරන බවත් Abbas Araqchi මහතා එහිදී පැවසීය. මෙම රාමුව තුළ චීනය සමග සහයෝගීතාව ශක්තිමත් කිරීමට තමා තුළ ඇති කැමැත්ත ද ඔහු ප්‍රකාශ කළ අතර,කලාපීය සාමය සහ ස්ථාවරත්වය වෙනුවෙන් චීනය විශාල කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි යන බලාපොරොත්තුව ද පළ කළේය.
