නැඟෙනහිර ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ පිහිටි කෝවිලක සිදුවූ අධික තෙරපීමකින් බැතිමතුන් 7 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. මියගිය සියලු බැතිමතුන් කාන්තාවන් වන අතර, තවත් බැතිමතුන් 20කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
බිහාර් ප්‍රාන්තයේ ලකිසාරේ දිස්ත්‍රික්කයේ පිහිටි අශෝක් ධාම් කෝවිලේදී ශිව දෙවියන්ට පැන් පූජා කිරීමේ උත්සවයක් අතරතුර එම අනතුර සිදුවී තිබේ. පිරිමින්ට වෙන් කර තිබූ පෝලිම ආසන්නයේ හදිසියේම කණුවක් කඩා වැටී ඇති බවත්, එහි තිබූ දිගු කේබලයේ විදුලිය ඇති බවට පැතිරී ගිය පුවතින් කාන්තා පෝලිමේ සිටි බැතිමතුන් කළබලයට පත්වී දිව යෑමට උත්සාහ කිරීමේදී මේ අධික තෙරපුම සිදුවී ඇති බවත් මූලික පරීක්ෂණයේදී හෙළි වී තිබේ.
මිනිත්තු දෙකක් වැනි කෙටි කාලයකදී එම අනතුර සිදුවී ඇති අතර, ඒ මොහොතේ බැතිමතුන් ආරක්ෂාව වෙනුවෙන් ගිලන් රථ කැඳවා තිබූ බැවින් මියගිය සහ තුවාල ලැබූ පිරිස ඒ මොහොතේදීම රෝහල් කරා රැගෙන ගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි. තුවාල ලැබූ කිහිපදෙනකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කෙරිණ.
