වසර 2030 වෙද්දී සංචාරක ක්ෂේත්‍රයෙන් අ.ඩො.බි.10ක ආදායමක් ලබා ගැනීම රජයේ අරමුණයි – අගමැති

වසර 2030 වෙද්දී සංචාරක ක්ෂේත්‍රයෙන් අ.ඩො.බි.10ක ආදායමක් ලබා ගැනීම රජයේ අරමුණයි – අගමැති

2030 වසර වන විට මෙරටට පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාව මිලියන පහ දක්වා ඉහළ නැංවීමත්, සංචාරක ක්ෂේත්‍රයේ රැකියා නියුක්තිකයන් සංඛ්‍යාව 800,000 දක්වා වර්ධනය කරමින් ඩොලර් බිලියන 10ක ආදායමක් උපයා ගැනීම ‘2030 ජාතික සංචාරක දැක්ම’ හි ප්‍රධාන අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසයි.

අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ අද (31) බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයේ 45 වන උපාධි ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.

1964 වසරේදී ‘ලංකා හෝටල් පාසල’ ලෙස ආරම්භ කෙරුණු ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය, වසර 60කට වැඩි කාලයක් පුරා දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ඇගයීමට ලක්වූ වෘත්තිකයන් ක්ෂේත්‍රයට දායාද කිරීමට සක්‍රියව දායක වී තිබේ. 

මෙම උත්සවයේදී පාඨමාලා සාර්ථකව නිමකළ සිසුන් වෙත සහතිකපත්‍ර හා සම්මාන පිරිනැමීම ද අග්‍රාමාත්‍යවරිය අතින් සිදු විය.

අනතුරුව පැමිණ සිටි පිරිස ඇමතූ අග්‍රාමාත්‍යතුමිය, ‘දිට්වා’ සුළිකුණාටුව ඇතුළු විවිධ අභියෝග හමුවේ වුවද ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය ප්‍රශංසනීය ලෙස නැගී සිටි බවත් මෙ වන විට සංචාරක ක්ෂේත්‍රය ආර්ථිකය නැවත ගොඩනැගීමේ ප්‍රධාන බලවේගයක් බවට පත්ව ඇති අතර, 2025 වසරේදී සංචාරක ක්ෂේත්‍රයෙන් උපයාගත් ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 3.2ක් පමණ වන බවත් පැවසීය.

එමෙන්ම 2026 ජනවාරි සිට ජූලි දක්වා කාලය තුළ සංචාරකයින් මිලියන 1.3කට අධික සංඛ්‍යාවක් මෙරටට පැමිණ ඇති අතර, ක්ෂේත්‍රයේ සෘජු හා වක්‍ර රැකියා නියුක්තිය ද 429,000 ඉක්මවා තිබෙන බවද සඳහන් කළාය. 

අනාගත ඉලක්ක සපුරා ගැනීමට තාක්ෂණික දැනුම මෙන්ම පාරිසරික වගකීම, වෘත්තීය ගෞරවය, වෙනස්වීම්වලට හැඩගැසීමේ හැකියාව සහ ගුණාත්මක සේවාවක් සැපයීමට කැපවූ වෘත්තිකයන් ක්ෂේත්‍රයට අවශ්‍ය වන බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී අවධාරණය කළාය. 

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *