– ට්‍රම්ප්ගෙන් යළි අනතුරු ඇඟවීමක්
අවබෝධතා ගිවිසුම උල්ලංඝනය කරමින් ඉරාන ආරක්ෂක හමුදාව හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කරන වෙළෙඳ නෞකාවලට පහර දීම හේතුවෙන් තවදුරටත් සාධාරණ ලෙස කටයුතු කිරීමට නොහැකි බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ. ඔහු මේ ප්‍රකාශය සිදු කර ඇත්තේ හෝමූස් මුහුදු තීරයේ යාත්‍රා කළ වෙළෙඳ නෞකාවලට ඉරාන ආරක්ෂක හමුදාවෙන් එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස අමෙරිකානු හමුදාව ඉරානයේ හමුදා යටිතල පහසුකම් ඉලක්ක කරගැනීමෙන් පසුව බවද වාර්තා වේ. ඉරානය කිසිදිනෙක පාඩමක් ඉගෙන නොගන්නා බවත්, මේ තත්ත්වය මත තවදුරටත් හමුදා ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන්නේ නම් ඉරානය ලෝක සිතියමෙන් ඉවත්වනු ඇති බවත් ටෘත් සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
හෝමූස් සමුද්‍ර සන්ධියේ නීතිරීති උල්ලංඝනය කරන නෞකාවලට එරෙහිව තවදුරටත් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ඉරාන ආරක්ෂක හමුදාව නිවේදනය කර ඇති අතර, අවබෝධතා ගිවිසුමට අනුව හෝමූස් සමුද්‍ර සන්ධියේ නෞකා ගමනාගමනය සහ නාවික කටයුතු පාලනය ඉරානය සතු බවද එම නිවේදනයේ සඳහන් වේ. නීතිරීති උල්ලංඝනය කරන නෞකාවලට පහරදීමට එරෙහිව අමෙරිකානු හමුදාව ඉරානයට පහරදීම සටන් විරාමය සහ අවබෝධතා ගිවිසුම සම්පූර්ණයෙන්ම බිඳවැටීමට හේතුවනු ඇතැයි ද ඉරාන ආරක්ෂක හමුදාව වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
