2026 වසර චීන-ඇමරිකානු සබඳතාවයේ ඓතිහාසික හා සන්ධිස්ථානීය වසරක් වනු ඇත –චීන ජනපති

2026 වසර චීන-ඇමරිකානු සබඳතාවයේ ඓතිහාසික හා සන්ධිස්ථානීය වසරක් වනු ඇත –චීන ජනපති

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා අතර සාකච්ඡාවක් පැවැත්වේ. ඒ අද(14) පෙරවරුවේ බෙයිජිංහි මහජන මහා ශාලාවේ දීය.

වර්තමානයේ ලෝකය මුහුණ දෙන පෙර නොවූ විරූ හදිසි වෙනස්කම් හමුවේ ජාත්‍යන්තර තත්ත්වය ගැටුම්කාරී වාතාවරණයක පවතින බව ෂී ජින්පිං මහතා එහිදී පෙන්වා දුන්නේය. ‘චීනය හා ඇමරිකාවට ‘Thucydides’ උගුලට හසු නොවී ප්‍රධාන හා දැවැන්ත රටවල් අතර සබඳතාවයේ නව ආකෘතියක් නිර්මාණය කළ හැකිද? දෙරටට එක්ව ගෝලීය අභියෝගයන්ට මුහුණ දෙමින් ලෝකයට වඩාත් වැඩි නිශ්චිතභාවය ලබා දිය හැකිද? දෙරට අතර සබඳතාවයේ සුන්දර අනාගතයක් එක්ව නිර්මාණය කළ හැකිද?’ යනාදි වත්මන් යුගයේ මතුව ඇති මෙම ප්‍රශ්න වෙත ප්‍රධාන රටවල නායකයන් එක්ව පිළිතුරු ලබා දිය යුතු බව ෂී ජින් පිං මහතා එහිදී අවධාරණය කළේය.

චීනය සහ ඇමරිකාව සතුරන් නොව හවුල්කරුවන් විය යුතු බව ද හෙතෙම අවධාරණය ‍කළේය. දෙරටටම සහ ලෝකයටම අදාළ වැදගත් කරුණු පිළිබඳව ට්‍රම්ප් ජනාධිපතිවරයා සමග අදහස් හුවමාරු කර ගනිමින් චීන-ඇමරිකා සබඳතාවය නිවැරදි ලෙස ඉදිරියට මෙහෙයවීමට බලාපොරොත්තු වන බව ඔහු කියාසිටියේය. 2026 වසර චීන-ඇමරිකා සබඳතා සඳහා ඓතිහාසික හා සන්ධිස්ථානීය වසරක් බවට පත් වනු ඇතැයි අපේක්ෂා කරන බවද ෂී ජින් පිං මහතා සඳහන් කළේය. 

චීන-ඇමරිකා ආර්ථික හා වෙළඳ සබඳතාවේ ස්වභාවය වන්නේ පොදු ජයග්‍රහණයය. මත භේදවලට මුහුණ දීමේදී සාධාරණ ලෙස සාකච්ඡා පැවැත්වීම එකම නිවැරදි විසඳුම බව ද ඔහු පැවසීය.

ඊයේ (13) පැවති ආර්ථික හා වෙළඳ කටයුතු පිළිබඳ සාකච්ඡාවේදී දෙපාර්ශ්වයේ ආර්ථික හා වෙළඳ කණ්ඩායම් අතර සමස්ත වශයෙන් සමබර ධනාත්මක ජයග්‍රහණ අත්පත් කරගෙන ඇත. එය දෙරටේ ජනතාවටත් ලෝකයටත් යහපත් පුවතකි. මේ වන විට ලබාගත් මනා ප්‍රවණතාව දෙපාර්ශ්වයම එක්ව තහවුරු කළ යුතු බව ෂී ජින්පිං මහතා එම සාකච්ඡාවේදී අවධාරණය කළේය.

තායිවාන ප්‍රශ්නය චීන-ඇමරිකානු සම්බන්ධතාවයේ වැදගත්ම ප්‍රශ්නයයි.  එය මනා ලෙස කළමනාකරණය කිරීමට හැකි වුවහොත්, දෙරට සම්බන්ධතාවය සමස්තයක් වශයෙන් ස්ථාවරත්වයක පැවතිය හැකිය. එසේ නොවුණහොත්, දෙරට අතර ගැටුම් සිදු විය හැකි අතර, එය චීන-ඇමරිකානු සම්බන්ධතාවය ඉතා අනතුරුදායක තත්ත්වයකට යොමු කරනු ඇත. ‘තායිවාන බෙදුම්වාදී බලවේගය’සිටින්නේ නම්, තායිවාන සමුද්‍ර සන්ධියේ සාමය පැවතිය නොහැක. තායිවාන සමුද්‍ර සන්ධියේ සාමය සහ ස්ථාවරත්වය පවත්වා ගැනීම චීනය සහ ඇමරිකාව අතර පොදු අවබෝධය සහ පොදු ප්‍රතිලාභ අතරින්, ප්‍රධානතම, මූලිකම හා වැදගත්ම කරුණු බව ද ඔහු පෙන්වා දුන්නේය.

චීනය හා ඇමරිකාව සුන්දර අනාගතයක් බෙදා ගන්නා බව එම අවස්ථාවේදී ට්‍රම්ප් ජනාධිපතිවරයා පැවසීය. ෂී ජින්පිං ජනාධිපතිවරයා ඉතා ‍ශ්‍රේෂ්ඨ නායකයෙක් බවත් තමා ඒ පිළිබඳව නිරතුරුවම සඳහන් කළ බවත් ඔහු කීය. චීනයට පැමිණීමට ලැබීම තමාට ගෞරවයක් බව ද ට්‍රම්ප් ජනාධිපතිවරයා පැවසීය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *