වසර 2019දී නඩු විභාගයක් අතරතුර ජීවිතක්ෂයට පත්වූ ඊජිප්තුවේ හිටපු ජනාධිපති මොහොමඩ් මොර්සිට අත්වූ ඉරණම සිය පියාට ද අත්වනු ඇතැයි පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ පුත්‍රයකු වන සුලෙයිමාන් ඛාන් ප්‍රකාශ කර තිබේ. ඔහු එංගලන්තයේ ඉන්ඩිපෙන්ඩන්ට් පුවත් සේවයට සඳහන් කර ඇත්තේ ඊජිප්තු රජය එවකට මොහොමඩ් මොර්සිට අත්කර දුන් ඉරණමට සමානව සිය පියා ද සිරගත කර ඝාතනය කිරීමට පාකිස්තාන රජය උත්සාහ ගනිමින් සිටින බවය.
අධිකරණයේ නඩු සියයකට වඩා වැඩි ප්‍රමාණයකට මුහුණ දී සිටින ඉම්රාන් ඛාන් දිගින් දිගටම සිරගත කර තැබීම සම්බන්ධයෙන් ඔහු පාකිස්තාන හමුදාපති ෆීල්ඩ් මාෂල් අසීම් මුනීර්ට ද චෝදනා කර ඇතැයි ඉන්ඩිපෙන්ඩන්ට් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.
මොහොමඩ් මොර්සි වසර 2012 සිට 2013 දක්වා ඊජිප්තුවේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී දැඩි ජනතා විරෝධයක් එල්ල වූ බවත්, එවකට හිටපු හමුදාපති සහ වත්මන් ජනාධිපති ජෙනරාල් අබ්දෙල් ෆටා අල් සිසී හමුදා කුමන්ත්රණයකින් බලය අත්කර ගැනීමෙන් පසු මොහොමඩ් මොර්සි අත්අඩංගුවට ගත් බවත් වාර්තා වේ. පසුව විරෝධතාකරුවන් විශාල පිරිසක් ඝාතනය කිරීමේ චෝදනාවට ඊජිප්තුවේ අධිකරණයකින් මොර්සිට මරණ දඬුවම නියම කළ බවත් වාර්තා වේ.
2016 දී ඔහුගේ මරණ දඬුවම අවලංගු කර නැවත නඩු විභාගයක් පවත්වන ලෙස අධිකරණය නියෝග කර ඇති අතර, ඔහු ජීවිතක්ෂයට පත්වී ඇත්තේ එම නඩු විභාගය අතරතුරදී බව වාර්තා වේ. අත්අඩංගුවේ පසුවෙද්දී ඔහුට වෛද්‍ය ප්‍රතිකාර ලබා නොදුන් බවට එවකට ජනාධිපති අල් සිසීට ජාත්‍යන්තරයේ දැඩි චෝදනා එල්ල වූ බව ද වාර්තා වේ.
