බංග්ලාදේශයේ ශිෂ්‍ය විරෝධතාව මර්දනය කිරිමේදී සිදුවූ ඝාතන සම්බන්ධව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ක්‍රිකට් නායක ශකීබ් අල් හසන්ට ද මිනීමැරුම් චෝදනා එල්ල වී ඇති බවත්, ඔහුට නැවත කිසිදිනෙක ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට අවස්ථාව නොදෙන බවත් බංග්ලාදේශයේ ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති අමිනුල් හක් ප්‍රකාශ කර ඇත.
පසුගියදා ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවති හිටපු අගමැතිනිය ශෙයික් හසීනාගේ මාධ්‍ය හමුවට ශකීබ් අල් හසන් ද වීඩියෝ තාක්ෂණය ඔස්සේ සහභාගි වී ඇති අතර, ඊට පැය කිහිපයකට පසු මගුරා නගරයේ පිහිටි ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ නිවසට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් ද එල්ල වී තිබේ.
බංග්ලාදේශයේ ක්‍රීඩා ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ හසීනාගේ රජය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ ශකීබ් අල් හසන් සම්බන්ධව රජය මීට පෙර තරමක් නම්‍යශීලී ආකාරයෙන් කටයුතු කළද, ඔහු මරණ දඬුවමට ලක්වී සිටින අගමැතිනිය සමඟ මාධ්‍ය හමුවට සහභාගිවීම හේතුවෙන් නැවත කිසිදිනෙක ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට ඉඩ නොදෙන බවය.
