ලොව හොඳම ආහාර සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව Top 50 අතරට

ලොව හොඳම ආහාර සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව Top 50 අතරට

Travel And Tour World (TTW) ආයතනය විසින් 2026 වසර සඳහා ප්‍රකාශයට පත් කරන ලද ලොව විශිෂ්ටතම ආහාර ගමනාන්ත 50 අතරට ශ්‍රී ලංකාව ද ඇතුළත් කෙරේ. 

එම ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය මෙක්සිකෝවට, දෙවැනි ස්ථානය ඉතාලියට, තෙවැනි ස්ථානය ස්පාඤ්ඤයට සහ 50 වන ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව ඇත.

ආහාර සංස්කෘතික උරුමය, ප්‍රාදේශීය ආහාර විවිධත්වය, වීදි ආහාර සංස්කෘතිය, දේශීය අමුද්‍රව්‍ය භාවිතය, උසස් මට්ටමේ ආහාරපාන, තිරසාරත්වය සහ සංචාරකයන්ට හිමිවන සුවිශේෂී ආහාර අත්දැකීම් ඇතුළු කරුණු පදනම් කර ගනිමින් මෙම ශ්‍රේණිගත කිරීම සකස් කර ඇති බව Travel And Tour World  ආයතනය සඳහන් කරයි.

ඒ අනුව යුරෝපය, ආසියා-පැසිෆික් කලාපය, අමෙරිකානු හා කැරිබියානු, අප්‍රිකාව සහ මැද පෙරදිග ඇතුළු කලාපවල ප්‍රමුඛ ආහාර සංචාරක ගමනාන්ත රැසක් ද මෙවර Top 50 ලැයිස්තුවට ඇතුළත්ව ඇත.

සුවඳැති කුළුබඩු, දේශීය අමුද්‍රව්‍ය සහ විවිධ සංස්කෘතික ආහාර සම්ප්‍රදායන් හේතුවෙන් ශ්‍රී ලංකාව සංචාරකයින්ට සුවිශේෂී ආහාර අත්දැකීමක් ලබාදෙන රටක් බව එහි සඳහන් වේ. 

වීදි ආහාරවල සිට වෙරළබඩ ආපනශාලා දක්වා විවිධ ආහාර රසවිඳීමේ අවස්ථා ශ්‍රී ලංකාව තුළ පවතින බවද Travel And Tour World වාර්තාව මඟින් පෙන්වා දී තිබේ. 

මේ අතර ශ්‍රී ලංකාවේ ආහාර සඳහා හොඳම ස්ථාන 10ක් ද අදාළ වාර්තාවට ඇතුළත් කර තිබීම විශේෂත්වයකි. 

ඒ අනුව ආහාර සඳහා ඉහළම ස්ථාන ලෙස කොළඹ, ගාල්ල, මහනුවර, මීගමුව, ඇල්ල, යාපනය, මිරිස්ස, නුවරඑළිය, හික්කඩුව සහ ත්‍රිකුණාමලය නම්කර තිබේ.

කොළඹ බත් සහ ව්‍යංජන, කොත්තු රොටි, ආප්ප සහ නැවුම් මුහුදු ආහාර සඳහා ප්‍රසිද්ධියක් උසුලන අතර, ගාල්ල සහ මීගමුව මුහුදු ආහාර රස බැලීමට සුදුසුම ගමනාන්තය ලෙස වාර්තාවේ සඳහන්ය.

මහනුවර සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික ආහාර සඳහාත්, යාපනය සුවිශේෂී දෙමළ ආහාර රස සඳහාත් ප්‍රසිද්ධියක් උසුලන බව අදාළ වාර්තාවේ දැක්වේ.

එමෙන්ම, ඇල්ල දේශීය අමුද්‍රව්‍ය යොදා ගත් ආහාර සඳහාත්, නුවරඑළිය තේ ආශ්‍රිත ආහාර සහ පැණිරස කෑම සඳහාත්, මිරිස්ස, හික්කඩුව සහ ත්‍රිකුණාමලය වෙරළබඩ නැවුම් මුහුදු ආහාර සඳහාත් කැපී පෙනෙන ආහාර සංචාරක ගමනාන්ත ලෙස වාර්තාව පෙන්වා දෙයි.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *