ඉන්දියාවේ අසෑම් ප්‍රාන්තයට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 87 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. පසුගිය දින කිහිපය පුරා ඇද හැළුණු ධාරානිපාත වර්ෂාවත් සමඟ ඇතිවූ ගංවතුර තත්ත්වය ඊයේ වනවිට අඩුවෙමින් පැවතියද, එක්ලක්ෂ තිස්දහසකට අධික පිරිසක් මේ වනවිටත් අවතැන් වී සිටින බව වාර්තා වේ. අරුණාචල් සහ මේඝලයා
ප්‍රාන්තවලට ඉදිරි දින කිහිපයේදී අධික වැසි ඇතිවිය හැකි බවත්, එම ප්‍රාන්ත අතර පිහිටා ඇති බැවින් අසෑම් ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක කිහිපයකට දැඩි බලපෑම් එල්ල විය හැකි බවත් ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කර තිබේ. සමස්ත මරණ සංඛ්‍යාව 87 දක්වා ඉහළ ගොස් ඇත්තේ පෙරේදායින් අවසන් වූ පැය 24 ඇතුළත එම ප්‍රාන්තයේ සිව්සාගර් දිස්ත්‍රික්කයෙන් මරණ 2ක් වාර්තා වීමත් සමඟ බව අසෑම් ප්‍රාන්තයේ ආපදා කළමනාකරණ අධිකාරිය නිකුත් කළ වාර්තාවක සඳහන් වී තිබේ.
