පැන්ඩාවන්ගේ නිජබිම වන්නේ නිරිතදිග චීනයේ සී චුවාන් පළාතය. පසුගිය දා ඇමරිකාවේ වොෂිංටන් ප්‍රාන්තයෙන් පැමිණි තරුණයන් 20කට වැඩි පිරිසක් එම පළාතට ගොස් චීන ජාතික වස්තුවක් වන පැන්ඩාවන් සියැසින් දැක ගත්හ. ඒ, චීන මාධ්‍ය සමූහය සහ ඇමරිකා-චීන තරුණ සිසුන්ගේ හුවමාරු සංගමය ඒකාබද්ධව සංවිධානය කළ වැඩසටහනක් සමගිනි. “පැන්ඩාවන් සමගින් චීනයේ සැරි සරන්නෙමු”යන්න එම වැඩසටහනේ ප්‍රධාන තේමාවයි. තරුණයින්ගේ සහභාගීත්වය හා සංස්කෘතික ක්‍රියාකාරකම් මගින් දෙරටේ තරුණ පරපුර අතර අන්‍යෝන්‍ය අවබෝධය තහවුරු කිරීම, “පැන්ඩාවන් සමගින් චීනයේ සැරි සරන්නෙමු”වැඩසටහනේ අරමුණ වී තිබේ.
එම ඇමරිකානු තරුණයින් සී චුවාන් පළාතේ සංචාරය කළ කාලයේ විවිධ රසබර අත්දැකීම් ලබාගෙන ඇත. ඒ අතරින් පැන්ඩාවන්ට සමීප වීමට ලැබීම ඔවුන්ගේ ජීවිතයට එක්වූ නැවුම් අත්දැකීමකි. සී චුවාන් පළාතේ චෙං දු නගරයේ පිහිටි පැන්ඩා අභිජනන හා පර්යේෂණ මූලස්ථානයට ගොස් ඔවුන්ට ජීවිතයේ පළමු වරට සියැසින් පැන්ඩාවන් දැකගැනීමට හැකි විය. එපමණක් නොව පිටිවලින් පැන්ඩා හැඩයෙන් යුත් චීන බනිස් සෑදීම සහ සාම්ප්‍රදායික චීන කඩදාසි අවානෙහි පැන්ඩාවන් සිතුවම් කිරීම වැනි සංස්කෘතික අත්දැකීම් ද එම ඇමරිකානු තරුණයින් ලබාගෙන ඇත.
එසේම චෙං දු නගරයේ බොහෝ ස්ථානවල සැරි සරමින් ඔවුන් මෙම නගරයේ සාම්ප්‍රදායන් හා නවීණත්වය මුසුව ඇති අද්විතීය මුහුණුවර අත් විඳ තිබේ. නගරවාසීන්ගේ ආගන්තුක සත්කාරය ද ඔවුන්ගේ සිත් තුළ තදින් කාවැදිණ.
“පැන්ඩාවන් සමගින් චීනයේ සැරි සරන්නෙමු” වැඩසටහනට එක්වීමෙන් තමන් පෙර නොවූ විරූ සොඳුරු අත්දැකීම් රැසක් ලබා ඇතැයි එම ඇමරිකානු තරුණයින් පැවසීය. මෙම සංචාරය හරහා තමන් සැබවින්ම ජවසම්පන්න චීනයක් දැක ගත් බව ඔවුන් කියා සිටී.
