චීනය සහ දකුණු කොරියාව අතර යහපත්, ස්ථාවර සහ තිරසර සබඳතා සඳහා චීන විදේශ අමාත්‍යවරයාගෙන් ඇරයුමක්  

චීනය සහ දකුණු කොරියාව අතර යහපත්, ස්ථාවර සහ තිරසර සබඳතා සඳහා චීන විදේශ අමාත්‍යවරයාගෙන් ඇරයුමක්  

චීනය සහ දකුණු කොරියාව අතර ද්විපාර්ශ්වික සබඳතා යහපත්, ස්ථාවර සහ තිරසර ලෙස සංවර්ධනය කිරීම සහතික කිරීම‍ට,  දෙරටම උපායමාර්ගික දැක්මකින් කටයුතු කළ යුතු බව චීන විදේශ අමාත්‍ය Wang Yi මහතා ඊයේ (20) පවසා තිබේ. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩලයේ සාමාජිකයෙකු ද වන Wang Yi මහතා දකුණු කොරියානු විදේශ අමාත්‍ය Cho Hyun මහතා හමුවූ අවස්ථාවේදී මෙම අදහස් පළ කළේය.

දකුණු කොරියාව සිය මූලික අවශ්‍යතා පදනම් කර ගනිමින් ස්වාධීන විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතු බවත්, අනෙකුත් රටවල් සමග ගැටුම් ඇති කර නොගෙන සමාන්තරව සබඳතා වර්ධනය කරගත යුතු බවත් Wang Yi මහතා පැවසීය.

පසුගිය වසර අවසානයේ සිට දෙරටේ ඉහළ පෙළේ නායකයන් සාර්ථක ලෙස එකිනෙකාගේ රටවල සංචාරය කර ඇති බවත්, චීනය සහ දකුණු කොරියාව අතර සබඳතාවල අනාගත සංවර්ධනය සම්බන්ධයෙන් වැදගත් එකඟතාවන්ට පැමිණ ඇති බවත් Wang Yi මහතා පෙන්වා දී ඇත. එමඟින් දෙරටේ ද්විපාර්ශ්වික සබඳතා සඳහා උපායමාර්ගික මඟපෙන්වීමක් ලබාදී ඇති බව ද හෙතෙම සඳහන් කළේය.

චීනය සහ දකුණු කොරියාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කර වසර 34ක් සපිරෙන අවස්ථාවේ, දෙරටේ උපායමාර්ගික සහයෝගිතා හවුල්කාරීත්වය නව මට්ටමකට ගෙන යාමට දකුණු කොරියාව සමඟ එක්ව කටයුතු කිරීමට චීනය සූදානම් බව Wang Yi මහතා වැඩිදුරටත් සඳහන් කළේය. දෙරට අතර ඉහළ මට්ටමේ හුවමාරු අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බව ද ඔහු අවධාරණය කළේය.

චීනය සහ දකුණු කොරියාව අතර ආර්ථික හා වෙළඳ සහයෝගිතාව සඳහා ශක්තිමත් පදනමක් පවතින බවත්, දෙරටම ගැඹුරින් ඒකාබද්ධ වූ පොදු ප්‍රතිලාභ සහිත ප්‍රජාවක් බවට පත්ව ඇති බවත් චීන විදේශ අමාත්‍යවරයා පැවසීය.

කෘත්‍රිම බුද්ධිය, හරිත පරිවර්තනය, ඩිජිටල් ආර්ථිකය, ඉහළ මට්ටමේ උපකරණ සහ වැඩිහිටි ජනගහනය ආශ්‍රිත ආර්ථික අවස්ථා වැනි නව සහයෝගිතා හා වර්ධන ක්ෂේත්‍ර හඳුනාගත යුතු බව ඔහු සඳහන් කර ඇත.

එමෙන්ම චීන-දකුණු කොරියානු නිදහස් වෙළඳ ගිවිසුමේ (FTA) දෙවන අදියරේ සාකච්ඡා වේගවත් කළ යුතු බව ද Wang Yi මහතා අවධාරණය කළේය.

යොවුන් පරපුර, මාධ්‍ය, ක්‍රීඩා, ප්‍රතිපත්ති පර්යේෂණ ආයතන  සහ ප්‍රාදේශීය ආණ්ඩු වැනි ක්ෂේත්‍රවල හුවමාරු තවදුරටත් ප්‍රවර්ධනය කළ යුතු බවත්, එමඟින් දෙරට අතර සබඳතා වෙනුවෙන් මහජන සහයෝගය සහ සමාජ පදනම තවදුරටත් ශක්තිමත් කිරීමට කටයුතු කළ යුතු බවත් ඔහු පැවසීය.

2026 APEC ආර්ථික නායකයන්ගේ රැස්වීමෙහි සත්කාරකත්වය දැරීමෙන් චීනයට, දකුණු කොරියාව ද ඇතුළුව, සියලු පාර්ශ්වයන් සමඟ ආසියා-පැසිෆික් ප්‍රජාවක් ගොඩනැගීම සඳහා අවස්ථාවක් උදා කරගැනීමට අවශ්‍ය බව ද ඔහු සඳහන් කළේය. ඉන් ආසියා-පැසිෆික් කලාපයේ සහ ඉන් ඔබ්බෙහි සාමය හා සංවර්ධනය සඳහා නව ජවයක් ලබාදීමට කටයුතු කරන බව ද ඔහු සඳහන් කළේය.

චීන – දකුණු කොරියා රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කළ දා සිට, තම රට එකම චීනය ප්‍රතිපත්තිය අඛණ්ඩව අනුගමනය කර ඇති බව දකුණු කොරියානු විදේශ අමාත්‍ය Cho Hyun මහතා මෙහිදී පැවසීය.

චීනය සමග සමීප ඉහළ මට්ටමේ හුවමාරු අඛණ්ඩව පවත්වාගෙන යාමටත්, ආර්ථික හා වෙළඳ කටයුතු, උසස් තාක්ෂණය, කෘත්‍රිම බුද්ධිය, යොවුන් හුවමාරු ඇතුළු ක්ෂේත්‍රවල හුවමාරු හා සහයෝගිතාව පුළුල් කිරීමටත්  බලාපොරොත්තු වන බව Cho Hyun මහතා සඳහන් කර ඇත.

එමෙන්ම දකුණු කොරියා-චීන නිදහස් වෙළඳ ගිවිසුමේ දෙවන අදියරේ සාකච්ඡා වේගවත් කරමින්, දෙරටේ උපායමාර්ගික සහයෝගිතා හවුල්කාරිත්වය තවදුරටත් ඉහළ මට්ටමකට ගෙන යාමට අපේක්ෂා කරන බව ද ඔහු සඳහන් කළේය.

කොරියානු අර්ධද්වීපයේ තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් Wang Yi මහතා අවධාරණය කළේ, කොරියානු අර්ධද්වීපයේ සාමය සහ ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා චීනය සෑම විටම අර්ථවත්  භූමිකාවක් ඉටු කිරීමට කැපවී සිටින බවයි.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *