මුඛ පිළිකාවට හේතුවන දුම්කොළ මිශ්‍රිත පුවක් විශේෂයක් සහිත නිෂ්පාදනයක සන්නාමයක් ප්‍රවර්ධනය කරන වෙළෙඳ දැන්විම්වල පෙනී සිටීමෙන් වළකින ලෙස සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් ඇතුළු තිදෙනකුට මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත රජයෙන් අනතුරු අඟවා ඇතැයි වාර්තා වේ.
කුඩා පැකට්ටු ලෙස වෙළෙඳපොළේ අලෙවි කරන පාන් මසාලා නමින් හඳුන්වන එම නිෂ්පාදනය තහනම් කර ඇති අතර, සෞඛ්‍යට අතිශයින්ම හානිකර බවත්, මුඛ පිළිකා හටගැනීමට ප්‍රධානතම හේතුව මෙවැනි නිෂ්පාදන බවත් එම ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරින් ප්‍රකාශ කර තිබේ. ෂාරුක් ඛාන්, අජේ දේව්ගන් සහ ටයිගර් ශ්රොප් එම සන්නාමය ප්‍රවර්ධනය කිරීමේ වෙළෙඳ දැන්වීම්වලට පෙනී සිටි බව වාර්තා වේ.
මෙවැනි ආකාරයට එම නිෂ්පාදනයේ සන්නාම නාමය සහ භාවිතය ප්‍රවර්ධනය කිරීමෙන් තහනම් කරනු ලැබූ නිෂ්පාදන කෙරෙහි පාරිභෝගික අවධානය නැවත ඇතිවීමට හේතුවනු ඇතැයි මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ආහාර හා ඖෂධ පාලන අධිකාරිය නිවේදනය කර තිබේ. පසුගිය වසරේදී ඉන්දියාවේ පාන් මසාලා පුවක් පැකට්ටු වෙළෙඳපොළේ වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 5කට ආසන්න වූ බව ද වාර්තා වේ.
