අත්අඩංගුවේ පසුවන මියන්මාරයේ හිටපු නායිකා අවුන්සාන් සුකී එරට අගනුවරදී ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ නියෝජිතවරයකු හමුවූ බව එරට හමුදා රජය ප්‍රකාශ කර තිබේ. වසර 2021 දී හමුදා කුමන්ත්රණයකින් බලයෙන් පහකිරීමෙන් පසු ඇය බාහිර පාර්ශ්වයක් මුණ ගැසුණු පළමු අවස්ථාව මෙය බව ද වාර්තා වේ.
අවුන්සාන් සුකී සහ ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ නියෝජිත අර්නෝ ද බේක් අගනුවර එක්තරා ස්ථානයක මුණ ගැසුණු අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් ද හමුදා රජය ප්‍රකාශයට පත් කර තිබේ. කෙසේ වෙතත් එම හමුව පැවති ස්ථානය හෝ සාකච්ඡාවට ලක්වූ කරුණු සම්බන්ධයෙන් හෝ තොරතුරු හෙළිවී නැති අතර, රතු කුරුස සංවිධානය නිවේදනය කර ඇත්තේ සිය නියෝජිතයා ඇය සමඟ පෞද්ගලික සාකච්ඡාවක නිරත වූ බවය. 81 හැවිරිදි අවුන්සාන් යහපත් ශරීර සෞඛ්‍යයෙන් පසුවන බව එම ඡායාරූපවලින් පෙන්නුම් කර තිබේ හමුදා රජය බලයට පත්වීමත් සමඟ අත්අඩංගුවට ගත් අවුන්සාන් සුකීට විවිධ චෝදනා යටතේ වසර 33ක සිරදඬුවම් නියම වූ අතර, පසුව එම දඬුවම් කාලය සීමා කරමින් ඇය නිවාස අඩස්සියේ තැබීමට හමුදා රජය පසුව පියවර ගෙන ඇත.
