අමෙරිකාව සහ ඉරාන හමුදා අතර දැවැන්ත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හුවමාරුවක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
මේ හේතුවෙන්, හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමට සහ තවත් දින 60ක සාකච්ඡාවලින් පසුව යුද්ධය අවසන් කිරීම අරමුණු කරගනිමින් පසුගිය මාසයේදී අත්සන් කරන ලද අමෙරිකා-ඉරාන අතුරු ගිවිසුම පිළිබඳව තවදුරටත් සැක මතු වී තිබේ.
ඉරානය සතු මිලිටරි සහ සිවිල් යටිතල පහසුකම් ඉලක්ක කරගනිමින් අමෙරිකානු ආරක්ෂක බලකායන් විසින් එල්ල කරන ලද දැවැන්ත ප්‍රහාර මාලාවක් හේතුවෙන්, දෙරට අතර පැවැති තාවකාලික සටන් විරාමය බිඳ වැටී යළිත් මහා පරිමාණ යුද්ධයක් ආරම්භ වීමේ දැඩි අවදානමක් මතුව ඇත.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගියදා ඇති කරගත් සටන් විරාම ගිවිසුම “අවසන්” බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මෙම ගුවන් සහ මිසයිල ප්‍රහාර මාලාව දියත් කර තිබේ.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන නාවික ගමනාගමනයේ පාලනය තමන් සතු කර ගැනීමට ඉරානය උත්සාහ කිරීමත් සමඟ මෙම තත්ත්වය උද්ගතව ඇති බවය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමෙරිකානු මධ්‍යම අණදෙන බලඇණිය පවසන්නේ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා නිදහසේ ගමන් කරන සිවිල් නාවිකයන්ට සහ වාණිජ නැව්වලට ප්‍රහාර එල්ල කිරීමට ඇති හැකියාව අඛණ්ඩව දුර්වල කිරීම සඳහා ඇමෙරිකානු හමුදාව ඉරානයට එරෙහිව ප්‍රහාර දියත් කිරීම ආරම්භ කළ බවය.
අමෙරිකානු ආරක්ෂක අංශ සඳහන් කරන්නේ ඉරාන වෙරළ තීරයේ පිහිටි ගුවන් ආරක්ෂණ පද්ධති, මිසයිල ගබඩා සහ නාවික කඳවුරු ඇතුළු මිලිටරි ඉලක්ක 90කට අධික සංඛ්‍යාවක් විනාශ කළ බවය.
කෙසේ වෙතත්, ඉරාන මාධ්‍ය වාර්තා කරන්නේ මෙම ප්‍රහාර හුදු මිලිටරි ඉලක්කවලට පමණක් සීමා නොවූ බවයි.
බුෂෙහ්ර් (Bushehr) න්‍යෂ්ටික බලාගාර කලාපය, බන්ඩර් අබ්බාස් (Bandar Abbas) වරාය නගරය මෙන්ම සිවිල් ජනතාව ගැවසෙන ප්‍රදේශ සහ පාසල් ආශ්‍රිතව ද ප්රහාරයන්හි බලපෑම හේතුවෙන් දැවැන්ත පිපිරීම් සිදුව ඇති බව වාර්තා වේ.
මෙම ප්‍රහාරත් සමඟ ඉරානය ද නිහඬව නොසිටි අතර, ඔවුන් බහරේනය සහ කුවේටය වැනි කලාපයේ පිහිටි අමෙරිකානු හමුදා කඳවුරු සහ මිත්‍ර රටවල් ඉලක්ක කරගනිමින් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර ඇත.
මේ හේතුවෙන් සමස්ත මැදපෙරදිග කලාපයම යළිත් දැඩි යුද උණුසුමකට පත්ව ඇති අතර, ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ද සීඝ්රයෙන් ඉහළ යාමේ අවදානමක් මතුව තිබේ.
