ඉරානය අද (4) ටෙහෙරාන් අගනුවරදී අභාවප්‍රාප්ත උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි මහතා වෙනුවෙන් මහජන සමුගැනීම සහ අනුස්මරණ උත්සවය පැවැත්වීය.
ඊයේ(3) දිනයේ පැවති අවමංගල්‍ය උත්සවයේ දී ඉරානයේ ඒ ඒ ක්ෂේත්රවල ඉහළ පෙළේ පුද්ගලයන් හා විවිධ රටවල නියෝජිත පිරිස් එක්වූහ.
ඊට පෙර ඉරානය ප්‍රකාශයට පත් කළ කාලසටහනට අනුව, ඉරානයේ ටෙහෙරාන්, Qom, Mashhad සහ ඉරාකයේ ෂියා ශුද්ධ නගර වන Najaf සහ Karbala යන නගරවල අයතුල්ලා අලි කමේනි මහතා වෙනුවෙන් අවමංගල්‍ය උත්සව පවත්වනු ඇත.
ඉකුත් පෙබරවාරි 28 වැනිදා එල්ල වූ එම ප්‍රහාරයෙන් ඔහු ජීවිතක්ෂයට පත් වුවද, එකල පැවති දැඩි යුද වාතාවරණය හේතුවෙන් ඉස්ලාමීය සම්ප්‍රදායට අනුව වහාම භූමදාන කටයුතු සිදු කිරීමට නොහැකි විය.
ඒ අනුව ඔහුගේ අභාවයෙන් මාස 4ක් ඉක්මවා ගිය පසු සිය ආධ්‍යාත්මික නායකයාට අවසන් ගෞරව දැක්වීමේ අවස්ථාව මේ වන විට ඉරාන ජනතාවට හිමිව තිබේ.
ඉරාන ජාතික ධජයෙන් ආවරණය කරන ලද කමේනිගේ දේහය මේ වන විට ටෙහෙරාන් නුවර පිහිටි ග්‍රෑන්ඩ් මොසල්ලා ඉස්ලාම් දේවස්ථානයේ තැන්පත් කර ඇත.
තම නායකයාගේ වියෝවෙන් සංවේදී වූ දහස් සංඛ්‍යාත ඉරාන වැසියන් අලුයම සිටම දිගු පෝලිම්වල රැඳී සිටි අතර, යාඥා සංකීර්ණයේ දොරටු විවෘත කිරීමත් සමඟ ඔවුහු අවසන් ගෞරව දැක්වීම සඳහා ඇතුළු වූහ.
මෙම අවස්ථාවට ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙශ්කියන්, විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි සහ ඉරාන විප්ලවීය මුරභට බළකායේ වැඩබලන ප්‍රධානී අහ්මඩ් වහීඩි ඇතුළු ඉරානයේ දේශපාලන හා මිලිටරි ප්‍රබලයින් රැසක් එක්ව සිටියහ.
වසර 37ක් පුරා ඉරානයට නායකත්වය දුන් මෙම ආධ්‍යාත්මික නායකයාට අවසන් ගෞරව දැක්වීම සඳහා රටවල් 100කට වැඩි සංඛ්‍යාවක නියෝජිතයින් සහභාගි වීමට නියමිතය.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායක රිස්වි සාලි සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් යන මහත්වරු එක්ව සිටිති.
ඊට අමතරව පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ්, හමුදාපති අසීම් මුනීර් මෙන්ම රුසියාව, චීනය, ඉරාකය, ඇෆ්ගනිස්තානය, තුර්කිය, ඉන්දියාව සහ බංග්ලාදේශය ඇතුළු රටවල් රැසක රාජ්‍ය නියෝජිතයෝ ද මේ සඳහා සහභාගී වී සිටිති.
අවමංගල්‍ය උත්සවය හේතුවෙන් ටෙහෙරාන් නගරයේ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන දින කිහිපයකට වසා දමා ඇති අතර, ප්‍රධාන මාර්ග රැසක දැඩි රථවාහන සීමාවන් පනවා ඇත.
නගරයේ ආරක්ෂාව උපරිමයෙන් තර කර ඇති අතර, ගුවන් සීමාවන්ද තාවකාලිකව වසා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අයතොල්ලා අලි කමේනිගේ දේහය දින 3ක් පුරා ටෙහෙරාන් නුවර තැන්පත් කර තැබීමෙන් අනතුරුව, ඉරානයේ ෂියා දහමේ ශුද්ධ වූ නගරයක් වන කොම් නුවර වෙත දේහය රැගෙන යනු ලබයි.
ඉන් අනතුරුව ඉරාකයේ පිහිටි ෂියා මුස්ලිම්වරුන්ගේ ශුද්ධ වූ නගර වන නජාෆ් සහ කර්බාලා වෙත දේහය රැගෙන ගොස්, කමේනිගේ උපන් නගරය මෙන්ම ෂියා මුස්ලිම්වරුන්ගේ ආධ්‍යාත්මික අගනුවර ලෙස සැලකෙන මෂාඩ් නුවර පිහිටි ඉමාම් රේසා දේවස්ථානයේදී දේහය භූමදානය කිරීමට නියමිතය.
ඉරාන බලධාරීන් ප්‍රකාශ කරන්නේ භූමදාන කටයුතුවලින් පසුව ද දින 40ක් පුරා රට පුරා නිල අනුස්මරණ උත්සව පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවය.
