ශ්‍රී ලංකා නියෝජිත පිරිස සඳුදා අමෙරිකාවට

ශ්‍රී ලංකා නියෝජිත පිරිස සඳුදා අමෙරිකාවට

අමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවට පැනවීමට යෝජනා කළ බදු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වසන්ත ඝෘතුමය සමුළුවට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා රජයේ නියෝජිත පිරිසක් ලබන සඳුදා (21) අමෙරිකාව බලාපිටත්ව යෑමට නිමිතය.

අමෙරිකාවේ බදු ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ කාර්යාලය, ජාත්‍යන්තර වෙ‍ෙළඳාම සම්බන්ධයෙන් ප්‍රධානීහු සහ එහි ඉහළ පෙළේ බලධාරින් සමඟ සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා රජයේ නියෝජිතයෝ මෙම සංචාරයේදී බලාපොරොත්තු වෙති. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වසන්ත ඝෘතුමය සමුළුවට සහභාගිවන අතරතුර අමෙරිකාවේ යෝජිත බදු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරෙත්තු වන බව මෙම නියෝජිත පිරිස අතර සිටින ප්‍රධානියකු දිනමිණට පැවසීය. මීට වසර 3කට (වසර 2022) පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගිය ශ්‍රී ලංකා නියෝජිත පිරිස එහිදී ඉල්ලා සිටියේ ආර්ථික බංකොලොත්භාවයෙන් මිදීමට විස්තීර්ණ ණය පහසුකමක් ලබා දෙන ලෙසය.

අමෙරිකාව විසින් පනවා මේ වනවිට දින 90කට අත්හිටුවා ඇති යෝජිත බදුවලින් නිදහස් වීමට ගත හැකි ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කිරීමට මෙවර බලාපොරොත්තු වන බව ද නියෝජිත පිරිසේ ප්‍රධානියා පෙන්වා දුන්නේය.

පසුගිය තුන් වැනිදා සිට එකොළොස් වැනිදා දක්වා මෙරට රැඳී සිටි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානීහු විස්තීර්ණ ණය පහසුකමේ සිවුවෙනි සමාලෝචනය සාර්ථකව සිදුකර තිබේ.

තුන් වැනි කාර්යමණ්ඩල යෝජනාවට අනුමැතිය ලබා ගැනීම හා අත්සන් තැබීම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී ගැඹුරින් කරුණු දක්වනු ඇතැයි ද එම නියෝජිතයා පැවසීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අමෙරිකාවේ නව බදු පැනවීමෙන් සිදු වන බලපෑම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සහ ඒවාට විසඳුම් සපයා ගැනීමට ඉහළ පෙළේ තාක්ෂණික කමිටුවක් පත් කළේය. එම කමිටුවේ සාමාජික ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් විරසිංහ මහතා ඇතුළු පිරිසක් මෙම සංචාරයට එක් වනු ඇත.

ශ්‍රී ලංකාවේ ඇඟලුම් ඇතුළු අපනයන භාණ්ඩ වර්ග පහකට විශාල බලපෑමක් මෙම බදු පැනවිමෙන් සිදු වන බව රජය දැඩිව අවධාරණය කළ කරුණකි.

සටහන ජයසිරි මුණසිංහ

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *