ආනයන, අපනයන පරතරය පියවා ගැනීමට අඛණ්ඩව ණය ලබා ගතහොත් නැවතත් වසර 10කින් ශ්‍රී ලංකාවට ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදුවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
රට තුළ ආර්ථික ස්ථාවරත්වයක් ඇති කර එය කඩිනමින් අපනයන ආර්ථිකයක් කරා පරිවර්තනය කිරීම තම අපේක්ෂාව බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය. ඊට අදාළව නව නීතියක් ද මෙම අප්‍රේල් මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් එසේම රජයේ මූල්‍ය පාලනය සඳහා ද නීතියක් ගෙන එන බවත් පැවසූ ජනාධිපතිවරයා මෙම සියලු කටයුතු තුළින් රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාම අරමුණ බව පැවැසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ කෑගල්ල, මංගෙදර ටැම්පිට පුරාණ පිරිවෙන් විහාරස්ථානයේ ඓතිහාසික බෝධින් වහන්සේ වටා ඉදිකළ බෝධිඝරය සහ රන්වැට විවෘත කිරීමේ පුණ්‍යෝත්සවයට ඊයේ (20) පෙරවරුවේ එක් වෙමිනි. ශ්‍රී ලංකාව ණය ගෙවිය හැකි රටක් ලෙස නැවත ලෝකය හමුවේ සහතික කිරීමට අදාළ සාකච්ඡා මෙම ජුනි, ජූලි මාසය වන විට අවසන් කිරීමට අපේක්ෂා කරන බව මෙහි දී සඳහන් කළ ජනාධිපතිවරයා ඒ සමඟම බංකොලොත් රටක් යන නාමකරණය යටතේ අපට මෙතෙක් අහිමිව තිබූ විදෙස් ආධාර නැවත රටට ලැබීම ආරම්භ වන බව ද පෙන්වා දුන්නේය.
එපමණක් නොව ශ්‍රී ලංකාව සමඟ ගනුදෙනු කිරීමෙන් වැළකී සිටි විදෙස් බැංකු සහ සමාගම් නැවත ගනුදෙනු කිරීම ආරම්භ වීමත් සමඟ රටේ මුදල් ප්‍රමාණය ඉහළ යාම තුළින් ආර්ථිකය ශක්තිමත් වන බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ සමඟ ජනතාවට තවදුරටත් සහන සැලසීමට අවස්ථාව සැලසෙනු ඇති බව ද කියා සිටියේය.
පසුගිය ආර්ථික අභියෝගය හමුවේ රටේ සියලු ජනතාව පීඩාවට පත් වූ බව ද මෙහි දී සිහිපත් කළ ජනාධිපතිවරයා එබැවින් ගොඩනැඟෙන ආර්ථිකයේ ප්‍රතිලාභය ද කිහිප දෙනෙකුට පමණක් නොව සියලු ජනතාවට හිමි කර දීම අරමුණ බව ද අවධාරණය කළේය.