
චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අද (12) පස්වරුවේ ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවති බ්‍රික්ස් රටවල නායකයින්ගේ 18 වැනි සමුළුවේ පළමු අදියරේ රැස්වීමට එක් වෙමින් විශේෂ දේශනයක් පැවැත්වීය.
‘වත්මන් යුගයේ වගකීම් පොදුවේ භාර ගනිමින් ප්‍රමුඛ බලවේගයක් ලෙස එඩිතරව කටයුතු කරමු’යන්න එම දේශනයේ තේමාව විය.
මෙම වසරේ බ්‍රික්ස් රටවල සහයෝගීතාවයේ 20 වැනි සංවත්සරය සනිටුහන් කෙරෙන බව ෂී ජින්පිං මහතා එහිදී පෙන්වා දුන්නේය. ගෙවී ගිය දශක දෙක තුළ, බ්‍රික්ස් සහයෝගිතා යාන්ත්‍රණය පුළුල් වෙමින් අඛණ්ඩව නව ජීවගුණයක් පෙන්නුම් කර ඇති බවත් හෙතෙම එහිදී අවධාරණය කළේය. එබැවින් මේ වනවිට, ලොව වැඩිම බලපෑමක් සහිත නැඟී එන වෙළඳපොළ මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල සහයෝගිතා වේදිකාව බවට බ්‍රික්ස් යාන්ත්‍රණය පත්ව ඇතැයි ෂී ජින්පිං මහතා සඳහන් කළේය.
බ්‍රික්ස් රටවල් ඉතිහාසයේදී මෙන්ම අනාගතයේදී ද, නිවැරදි දිශානතියට අනුගතව ස්ථිරව සිටිය යුතුය. ජාත්‍යන්තර පිළිවෙල වඩාත් සාධාරණ මෙන්ම යුක්තිසහගත දිශාවක් කරා යොමු කරමින්, පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීම සඳහා එක්ව කටයුතු කළ යුතු බවත් ෂී ජින්පිං මහතා එම අවස්ථාවේදී ප්‍රකාශ කර ඇත:
පළමුව, නවෝත්පාදන සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමේදී පුරෝගාමීන් ලෙස කටයුතු කළ යුතුය. ලෝක කෘත්‍රිම බුද්ධි සහයෝගිතා සංවිධානය බ්‍රික්ස් රටවල ක්‍රියාශීලි සහභාගීත්වය අපේක්ෂා කරයි. වැඩි පර්යේෂණ සහ සංවර්ධන ප්‍රතිඵල බිහිකරමින්, කාර්මික සහ සැපයුම් දාමයන්හි සහයෝගිතාව ගැඹුරු කිරීම සඳහා චීනය විවිධ පාර්ශ්වයන් සමඟ එක්ව උත්සාහ කිරීමට කැමැත්තෙන් සිටී.
දෙවනුව, සාමය සහ ස්ථාවරත්වය ආරක්ෂා කිරීමේ පුරෝගාමීන් ලෙස සිටිය යුතුය. සීතල යුද්ධ මානසිකත්වය සහ කණ්ඩායම් ගැටුම් ප්‍රතික්ෂේප කළ යුතු අතර, සෙසු රටවල ස්වෛරීභාවය උල්ලංඝනය කිරීමට සහ ඔවුන්ගේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීමට විරුද්ධ විය යුතුය. උණුසුම් කලාපීය ගැටලු විසඳීම සඳහා සංවර්ධනාත්මක උත්සාහයන් ගනිමින් ගැටලුවලට මූලික විසඳුම් සොයා දීමේදී ‘බ්‍රික්ස් දායකත්වය’ ලබා දිය යුතුය.
තෙවනුව, ශිෂ්ටාචාර අතර අන්‍යෝන්‍ය ඉගෙනීම ප්‍රවර්ධනය කිරීමේ පුරෝගාමීන් ලෙස කටයුතු කළ යුතුය. මනුෂ්‍යත්වයේ පොදු වටිනාකම් විදහා පාමින් ශිෂ්ටාචාර අතර හුවමාරු, අන්‍යෝන්‍ය ඉගෙනීම සහ සුහද සහජීවනය සඳහා පෙනී සිටිය යුතුය. සංස්කෘතිය, සංචාරක ව්‍යාපාරය සහ අධ්‍යාපනය පිළිබඳ සහයෝගිතාව ගැඹුරු කරන අතර, තරුණ හුවමාරු ශක්තිමත් කළ යුතුය. ජනතාව අතර අන්‍යෝන්‍ය අවබෝධය සහ සමීප බැඳීම් ගොඩනඟා ගැනීම සඳහා ඔවුන් අතර අන්තර්ක්‍රියා ප්‍රවර්ධනය කළ යුතුය.
සිව්වනුව, ගෝලීය කළමනාකරණය ප්‍රතිසංස්කරණය කිරීමේ පුරෝගාමීන් ලෙස කටයුතු කළ යුතුය. මෙහිදී එක්සත් ජාතීන්ගේ අධිකාරිය ආරක්ෂා කළ යුතු අතර ලෝක වෙළඳ සංවිධානය කේන්ද්‍ර කර ගන්නා බහුපාර්ශ්වික වෙළඳ පද්ධතියට සහයෝගය ලබා දිය යුතුය. සයිබර් අවකාශය, අභ්‍යවකාශය සහ ගැඹුරු මුහුද වැනි නව ක්ෂේත්‍රවල ගෝලීය පාලනයේ පෙරමුණ ගත යුතු අතර ගෝලීය දකුණේ රටවල ප්‍රකාශ අයිතිය තහවුරු කළ යුතු යැයි ද ෂී ජින්පිං මහතා යෝජනා කර ඇත.
අභියෝග හා දුෂ්කරතාවලින් සපිරි ගෙවී ගිය දශක දෙක තුළ, සහයෝගිතාව සහ එකමුතුකම යන චින්තනය සැමවිටම බ්‍රික්ස් යාන්ත්‍රණයේ සංවර්ධනය සඳහා පදනම සැපයූ බව චීන ජනාධිපතිවරයා සඳහන් කළේය. අවංක ව කටයුතු කිරීම, වෙනස්කම් නොතකා පොදු එකඟතා මත ඉදිරියට ගමන් කිරීම, අන්‍යෝන්‍ය මූලික ප්‍රතිලාභවලට ගරු කිරීම, මනා සන්නිවේදනය සහ සංවාද තුළින් අන්‍යෝන්‍ය අවබෝධය වර්ධනය කර ගැනීම මෙන්ම මතභේද නිසි ලෙස පාලනය කර ගැනීම එහිදී අතිශය වැදගත් වන බව ඔහු අවධාරණය කළේය.
