පාකිස්තානයට ඇද හැලෙන අධික වර්ෂාව සහ ගංවතුර තත්ත්වය හේතුවෙන් මාසයක් ඇතුළත අවම වශයෙන් පුද්ගලයන් 107 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට ජාතික ආපදා කළමනාකරණ අධිකාරිය ප්රකාශ කළ බව එරට ඩෝන් පුවත් සේවය වාර්තා කළේය. පසුගිය ජූනි මාසයේ අගභාගයේ සිට පාකිස්තානයට බලපා ඇති මෝසම් වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් පවතිනු ඇතැයි ද අනාවැකි පළ වී තිබේ.
වර්ෂාව හේතුවෙන් සිදුවූ විවිධ අනතුරුවලින් තවත් පුද්ගලයන් 344 දෙනකු තුවාල ලබා ඇතැයි ද ඩෝන් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය. පසුගියදා පන්ජාබ් ප්රාන්තයෙන් මරණ 7ක් සහ කයිබර් පක්ටුන්ක්වා ප්රාන්තයෙන් මරණ 3ක් වාර්තා වී ඇති බවත් ජාතික ආපදා කළමනාකරණ අධිකාරිය නිවේදනය කර ඇති අතර, නිවාස කඩා වැටීම්, දියේ ගිලීම සහ විදුලි සැර වැදීම වැනි වර්ෂාව ආශ්රිත අනතුරුවලින් එම මරණ සිදුවී තිබේ.
පාකිස්තානයේ දෙවැනි විශාලතම නගරය වන ලාහෝර් හී අවතැන්වූවන් වෙනුවෙන් සහනාධාර කඳවුරු 17ක් ස්ථාපිත කර ඇති අතර, වැසි තත්ත්වය ඉහළ යෑමේ අවදානම මත තවත් සහනාධාර කඳවුරු ඉදි කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ. පන්ජාබ් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ ලාහෝර් සහ ගුජරන්වාලා පළාත්වල පරිපාලන කොට්ඨාස පුරා වර්ග කිලෝමීටර් 400ක් පමණ ජලයෙන් යටවී ඇති බවය.
පන්ජාබ් ප්රාන්තය පුරා හදිසි සහනාධාර කණ්ඩායම් යොදවා ඇති බවත්, ගංවතුර බැසයෑමට සැලැස්වීම සඳහා එම කණ්ඩායම් සක්රියව කටයුතු කරමින් සිටින බවත් ප්රාන්ත මහඇමැතිනිය මරියම් ෂරීෆ් ප්රකාශ කර තිබේ.
