ඩිජිටල් යුගයේදී චීනය ලෝකයට තවදුරටත් විවෘතව වෙමින් සියලු පාර්ශ්වයන් සමග සහයෝගීතාව ගැඹුරු කරනු ඇත – චීන අගමැති

ඩිජිටල් යුගයේදී චීනය ලෝකයට තවදුරටත් විවෘතව වෙමින් සියලු පාර්ශ්වයන් සමග සහයෝගීතාව ගැඹුරු කරනු ඇත – චීන අගමැති

ඩිජිටල් යුගයේ ගෝලීය සහයෝගීතාව, විවෘතභාවය සහ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ මත පදනම් වූ සංවර්ධනයේ වැදගත්කම චීන අගමැති ලී ච්‍යං මහතා අවධාරණය කරයි. චීනයේ Zhejiang පළාතේ Hangzhou නගරයේ පැවති පස්වැනි ගෝලීය ඩිජිටල් වෙළඳ ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවයට එක්වෙමින් ඔහු මේ පිළිබඳව අදහස් දක්වා තිබේ.

ඉතිහාසයේ සෑම ප්‍රධාන තාක්ෂණික නවෝත්පාදනයක්ම ලෝකය වඩාත් විවෘත කිරීමට දායක වී ඇත. වර්තමානයේ ඩිජිටල්කරණය වේගවත් වන පසුබිමක ආර්ථික ගෝලීයකරණය නවතා දැමිය නොහැකි ප්‍රවණතාවක් බව ඔහු පෙන්වා දුන්නේය. එවැනි පසුබිමක අන්‍යෝන්‍ය අවිශ්වාසය සහ තමන්ගේ වාසිය වෙනුවෙන් අනෙකාට හානි සිදුකිරීමේ ප්‍රවේශයන් කාලයත් සමග අතහැර දමනු ඇති බවත්, අනාගතය ජයගත හැක්කේ අන්‍යෝන්‍ය විශ්වාසය, අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහ විවෘත සහයෝගීතාවය තුළින් පමණක් බවත් ඔහු ප්‍රකාශ කළේය.

ඩිජිටල් වෙළඳ ක්ෂේත්‍රයේ උතුරු-දකුණු සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කළ යුතු බව ද හෙතෙම පැවසීය. විශේෂයෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවලට තාක්ෂණය, යටිතල පහසුකම් සහ මානව සම්පත් පුහුණුව යන අංශවල වැඩි සහායක් ලබාදිය යුතුය. ගෝලීය සමෘද්ධිය සහ සැමට යහපත් ජීවිතයක් ළඟා කර ගැනීමට නම් සංවර්ධනය වේගවත් වීම පමණක් නොව මානව හිතකාමීත්වයට සමගාමීව ගමන් කළ යුතු බව ඔහු අවධාරණය කළේය.

ඩිජිටල් යුගයේදී චීනය ලෝකයට තවදුරටත් විවෘතව සිටින බවත්, සියලු පාර්ශ්වයන් සමග ආර්ථික හා වෙළෙඳ සහයෝගීතාව තවදුරටත් ගැඹුරු කරමින් ගෝලීය ආර්ථික ප්‍රකෘතිමත් වීම සහ වර්ධනය සඳහා එක්ව කටයුතු කරන බවත් ලී ච්‍යං මහතා කීය.

සියලු රටවල සමාගම් සඳහා චීන වෙළඳපොළ තුළ දිගුකාලීන වැඩි ආයෝජන අවස්ථා හිමිවනු ඇත. විදේශ ආයෝජන සහිත ව්‍යවසායන් සඳහා ජාතික මට්ටමේ සමාන සැලකීම සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන අතර, ඔවුන්ගේ සාධාරණ ගැටලු විසඳා විශ්වාසයෙන් යුතුව ව්‍යාපාර පවත්වාගෙන යාමට සහ වර්ධනය කිරීමට අවශ්‍ය පරිසරය සලසා දෙන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *