ශ්‍රී ලංකාවේ මූල්‍ය හා රාජ්‍ය මූල්‍ය අංශය සැලකිය යුතු වර්ධනයක් අත්කර ගනිමින් 2026 වසරේ මුල් මාස පහ අවසන් වන විට රුපියල් බිලියන 197.3ක සමස්ත අය වැය අතිරික්තයක් වාර්තා කිරීමට රජය සමත්ව ඇති බව මහ බැංකු වාර්තාව තහවුරු කරයි.
වසර 2025 අදාළ කාලපරිච්ඡේදය තුළ රුපියල් බිලියන 236.6ක අය – වැය හිඟයක් වාර්තා වී තිබූ පසුබිමක මෙම ජයග්‍රහණය මෙරට ආර්ථිකයේ සාධනීය හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස සැලකිය හැකිය.
මහ බැංකු වාර්තා අනුව, 2026 මැයි දක්වා කාලය තුළ රජයේ ආදායම හා ප්‍රදාන ප්‍රමාණය රුපියල් බිලියන 2,536.9ක් දක්වා සියයට 30.6කින් ඉහළ ගොස් තිබේ. මීට සාපේක්ෂව සමස්ත වියදම් හා ශුද්ධ ණය දීම වර්ධනය වී ඇත්තේ සියයට 7.4කින් පමණකැයි ද මහ බැංකුව කියාසිටී.
වසර 2025 රාජ්‍ය ආදායම හා ප්‍රදානයන්වල වටිනාකම් වී තිබේන්නේ රුපියල් බිලියන 1942.36ක් බව ද එම වාර්තාවේ දැක්වේ.
මෙරට කාර්මික නිෂ්පාදනය ද සියයට 1.6ක වර්ධනයක් වාර්තා කර ඇති අතර, ඇඟලුම් නිෂ්පාදනය (සියයට 5.8) සහ ලෝහ නොවන ඛනිජ නිෂ්පාදන (සියයට 16.7) මේ සඳහා ප්‍රධාන වශයෙන් දායක වී ඇත.
පෞද්ගලික අංශය වෙත ලබාදුන් ණය ප්‍රමාණය ද මැයි මාසය තුළ රුපියල් බිලියන 238.2 කින් ඉහළ ගොස් ඇති අතර එය සියයට 27.8ක වාර්ෂික වර්ධනයක් වාර්තා කරයි.
විදේශීය අංශය දෙස බලන විට, 2026 ජූනි මස අවසන් වන විට මෙරට නිල සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 6,450ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. එසේ වුවද, 2026 වසරේ ජූලි 10 දක්වා කාලය තුළ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 7.9කින් අවප්‍රමාණය වී තිබේ.
මේ අතර, මැදපෙරදිග පවතින නොසන්සුන්කාරී තත්ත්වය සහ ඉරානයට පැනවූ සම්බාධක හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ යෑමේ ප්‍රවණතාවක් පවතින බව වාර්තාව පෙන්වා දෙයි. පසුගිය සතියට සාපේක්ෂව බ්‍රෙන්ට් (Brent) බොරතෙල් බැරලයක මිල ඩොලර් 4.33කින් වර්ධනය විය.
කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව වාර්ෂික උද්ධමනය ජූනි මාසයේදී සියයට 6.8ක් ලෙස වාර්තා විය. කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) පසුගිය සතියට සාපේක්ෂව සියයට 1.86 කින් පහළ ගොස් ඇති අතර එය ඒකක 21,765.56ක් ලෙස සටහන් වේ.
මෙම වසරේ මුල් කාලයේදී රජය අපේක්ෂා කළ පරිදි ප්‍රාග්ධන වියදම් සිදු වී නොමැති අතර එය වසර අවසාන් වන විට ඉහළ යනු ඇතැයි පුරෝකථනය කෙරේ.
