චීනයේ ජාතික පුනර්ජීවනය සඳහා එක්සත්ව කටයුතු කළ යුතුයි– චීන මහජන දේශපාලන උපදේශක සභාවේ ජාතික කමිටු සභාපති

චීනයේ ජාතික පුනර්ජීවනය සඳහා එක්සත්ව කටයුතු කළ යුතුයි– චීන මහජන දේශපාලන උපදේශක සභාවේ ජාතික කමිටු සභාපති

දේශප්‍රේමී එක්සත් පෙරමුණ තවදුරටත් ශක්තිමත් කරමින් එය සංවර්ධනය කිරීමටත්, චීනය තුළ මෙන්ම විදේශයන්හි වෙසෙන චීන ජනතාවගේ බුද්ධිය සහ ශක්තිය රටේ ජාතික පුනර්ජීවනය සඳහා ඒකරාශී කරන ලෙසත් Wang Huning මහතා ඉල්ලා සිටියි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර කමිටු සාමාජිකයෙකු සහ චීන මහජන දේශපාලන උපදේශක සභාවේ ජාතික කමිටු සභාපතිවරයා ද වන Wang Huning මහතා මෙම අදහස් පළ ‍කළේ චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවීමේ 77 වන සංවත්සරය සැමරීමට බෙයිජිංහිදී පැවති උත්සවයකදීය. 

මේ වසරේ චීන කොමියුනිස්ට් පක්ෂය පිහිටුවීමේ 105 වන සංවත්සරය ද යෙදී ඇති බව ප්‍රකාශ කළ Wang Huning මහතා, විප්ලවය, රට ගොඩනැඟීම, ප්‍රතිසංස්කරණය සහ නව යුගය වෙත ගමන් කිරීම ආදී සියලු අදියරයන්හිදී චීන ජනතාව එක්සත් කර ඔවුන්ට නායකත්වය දීමේදී පක්ෂය ඉටු කළ කාර්යභාරය අගය කළේය.

එමෙන්ම “එක් රටක් ක්‍රම දෙකක්”යන මූලධර්මය පූර්ණ වශයෙන් සහ දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට චීනය කැපවී සිටින බව ද ඔහු ප්‍රකාශ කළේය. හොංකොං සහ මැකාවෝ යන විශේෂ පරිපාලන කලාපවල ආර්ථික සහ සමාජ සංවර්ධනය වැඩි දියුණු කර එය චීනයේ සමස්ත සංවර්ධනය සමග ඒකාබද්ධ කර අවශ්‍ය සහාය ලබා දීමටත් කටයුතු කරන බව ඔහු පැවසීය.  තායිවාන සමුද්‍ර සන්ධිය දෙපස සහයෝගීතාව වර්ධනය කිරීමටත්, තායිවාන ස්වාධීනත්වය සඳහා පෙනී සිටින බෙදුම්වාදී බලවේග වැළැක්වීමටත්, විදේශීය මැදිහත්වීම්වලට විරුද්ධ වීමටත් චීනය දැඩි ලෙස කටයුතු කරන බව ඔහු අවධාරණය කළේය.

ලොව පුරා සිටින සමස්ත චීන ජනතාව සඳහා මඟපෙන්වමින් රටේ සංවර්ධනය, චීන සංස්කෘතිය, ජාතික සමගිය මෙන්ම ජාත්‍යන්තර සබඳතා ප්‍රවර්ධනය කිරීමට ඔවුන්ගේ දායකත්වය වැඩි කිරීමට කටයුතු කරන බව ද  Wang Huning මහතා කියාසිටියේය.

හොංකොං, මැකාවෝ, චීන තායිවාන ප්‍රදේශය සහ විදේශයන්හි වෙසෙන චීන ජාතිකයින් නියෝජනය කරමින් පුද්ගලයන් 750කට ආසන්න පිරිසක් මෙම උත්සවයට එක් ව සිටියහ.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *