චීනය හා ඇමරිකාව අතර සබඳතාවේ අන්තර්ගතයන් තවදුරටත් පුළුල් කිරීමට දෙරටේ රාජ්‍ය නායකයෝ එකඟතාවකට පැමිණෙති. ඒ අනුව දෙපාර්ශ්වයම‘ගරුත්වය මත පදනම් වූ සාධාරණත්වයකින් යුත් සමානාත්මතාවයක් සහිත සංවර්ධනාත්මක උපායමාර්ගික ස්ථාවර සබඳතාවක් එක්ව ගොඩනංවනු ඇත.
ඇමරිකාවේ රාජ්‍ය සංචාරයකට එක්ව සිටින චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සහ ආර්යාව වෙනුවෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සහ ආර්යාව එරට වේලාවෙන් 25 වනදා පෙරවරුවේ ධවල මන්දිරයේදී පැවැත්වූ තේ පිළිසඳරේදී මේ බව ප්‍රකාශ කෙරිණ.
වසර 11කට පසු රාජ්‍ය සංචාරයක් සඳහා ඇමරිකාවේ වොෂින්ටන් නුවරට තමන් නැවත පැමිණීම මෙයින් සනිටුහන් වන බව ෂී ජින්පිං මහතා සඳහන් කළේය. මෙම සංචාරය චීන-ඇමරිකානු සම්බන්ධතාවයේ අර්ථය පොහොසත් කර ඇති බවත්, ආර්ථික හා වෙළඳ ක්ෂේත්රවල අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක ප්‍රතිඵල අත්කර ගෙන ඇති බවත්, එය දෙරටේ ජනතාව සහ ජාත්‍යන්තර ප්‍රජාව විසින් පිළිගනු ඇති බවත් ඔහු පැවසීය.
චීන-ඇමරිකානු සබඳතාවල අනාගතය සුබදායක බව ෂී ජින්පිං මහතා අවධාරණය කළ අතර, ඒ සමඟම එම සුබදායක අනාගතය කරා යන ගමන අනිවාර්යයෙන්ම විවිධ දුෂ්කරතා සහ අභියෝගවලින් පිරී පවතිනු ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය. චීන-ඇමරිකානු සබඳතා ඉතිහාසයේ වැදගත් හා අමරණීය පරිච්ඡේදයක් ඒකාබද්ධව රචනා කිරීම සඳහා, ඉතිහාසය හමුවේ වගකීම භාර ගැනීමේ ධෛර්යය හා හැඟීම පෙරදැරිව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ එක්ව කටයුතු කිරීමට තමා කැමැත්තෙන් සිටින බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ මෙවර ඇමරිකාවේ රාජ්‍ය සංචාරය, සංවර්ධනාත්මක හා සාර්ථකත්වයක් සහිත සංචාරයක් බව ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා එහිදී පැවසීය. ඇමරිකානු-චීන සබඳතා සහ ජාත්‍යන්තර වශයෙන් පොදු අවධානයට ලක්වූ ගැටලු සම්බන්ධයෙන් මෙහිදී ගැඹුරු ලෙස සාකච්ඡා කරමින් සාධනීය ප්‍රගතීන් රැසක් අත් කරගත් බවත් එය දෙරටටම ඉහළ ඵලදායීතාවයක් ගෙන දෙනු ඇති බවත් ජනාධිපති ට්‍රම්ප් මහතා ප්‍රකාශ කර තිබේ.
එමෙන්ම ෂී ජින්පිං ජනාධිපතිවරයා සමග එක්ව, සමීප සන්නිවේදනයක් පවත්වා ගනිමින් ඇමරිකා-චීන සබඳතා සංවර්ධනීය මාවතක් කරා රැගෙන යාමට අවශ්‍ය මඟපෙන්වීමක් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරන බව ද ට්‍රම්ප් ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.
තේ පිළිසඳර සඳහා එක්වීමෙන් අනතුරුව, ෂී ජින්පිං මහතා සහ පෙං ලීයුවාන් ආර්යාව, ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සහ ඔහුගේ ආර්යාව වන මෙලනියා ට්‍රම්ප් මහත්මිය සමඟ ඇමරිකානු ජාතික ලේඛනාගාරය නැරඹීමට පැමිණියහ. ඔවුහු එහි මධ්‍යම ශාලාවේදී ලේඛනාගාරය සහ ප්‍රධාන ප්‍රදර්ශන භාණ්ඩ පිළිබඳ හඳුන්වා දීමකට සවන් දුන්හ.
ඇමරිකානු ජනතාව වසර 250ක් පුරා ඇමරිකානු සිහිනය පසුපස හඹා යමින් සමෘද්ධිමත් ජාතියක් මෙන්ම සුන්දර නිවහනක් ද ගොඩනගා ඇතැයි ෂී ජින්පිං මහතා එහිදී පැවසීය. චීන ජනතාව ද සිය ජාතියේ වසර 5000ක් පැරණි සංස්කෘතික සම්ප්‍රදායන් උරුම කර ගනිමින් චීන ජාතියේ මහා පුනර්ජීවනය පිළිබඳ චීන සිහිනය සැබෑ කර ගැනීමේ නව ගමනේදී අඛණ්ඩව නව ජයග්රහණයන් අත්කර ගනිමින් සිටින බව ද හෙතෙම එහිදී පෙන්වා දුන්නේය.
චීනය සහ ඇමරිකාව එකිනෙකට අසමාන ලක්ෂණ හිමි රටවල් දෙකකි. ඔවුන්ගේ ඉතිහාසය, සංස්කෘතීන්, සමාජ පද්ධති සහ සංවර්ධන මාවත් වෙනස් වුවද, වඩා යහපත් ජීවිතයක් වෙනුවෙන් දෙරටේ ජනතා අභිලාෂයන් එක හා සමානය. එබැවින් එකිනෙකාගේ වෙනස්කම් පිළිගෙන ඊට ගරු කරමින් ද, එකිනෙකා පිළිබඳ නිසි අවබෝධයෙන් යුතුව මනා අධ්‍යයනයකින් ද, මතභේද නිසි ලෙස පාලනය කර, ද්විපාර්ශ්වික සබඳතා ස්ථාවරව ඉදිරියට රැගෙන යා හැකි බව චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
