චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊයේ (04) රාත්‍රියේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සමඟ දුරකථන සංවාදයකට එක් විය.
චීන-ඇමරිකානු සබඳතාව සඳහා තමා ඉතා වැදගත්කමක් ලබා දෙන බව ෂී ජින් පිං මහතා එහිදී පැවසීය. එමෙන්ම දෙපාර්ශ්වයම,දෙරටේ නායකයින් විසින් ඇති කරගත් එකඟතාවයට අනුව,සංවාදය සහ සන්නිවේදනය ශක්තිමත් කළ යුතු අතර,වෙනස්කම් නිසි ලෙස කළමනාකරණය කරමින් ප්‍රායෝගිකව සහයෝගිතා පුළුල් කළ යුතු බවත්, 2026 වසර චීනය සහ ඇමරිකාව යන ප්‍රධාන රටවල් දෙක අතර අන්‍යෝන්‍ය ගෞරවය,සාමකාමී සහජීවනය සමඟින් ජයග්‍රාහී වසරක් බවට පත් කළ යුතු බවත් ඔහු පවසා ඇත.
තවද, තායිවාන ප්‍රශ්නය චීන-ඇමරිකානු සබඳතාවන්හි වැදගත්ම කාරණය බව ෂී ජින් පිං මහතා එහිදී අවධාරණය කළේය. තායිවානය චීන භූමියක් බවත්,චීනය තම ජාතික ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කළ යුතු බවත්, කිසිවිටෙකත් තායිවානයට චීනයෙන් වෙන් වීමට ඉඩ නොදෙන බවත්, ඔහු පැවසීය. තායිවානයට අවි විකිණීමේ ගැටලුව සම්බන්ධයෙන් ඇමරිකාව උපරිම සැලකිල්ලෙන් කටයුතු කළ යුතු බවත් ජනාධිපති ෂී ජින් පිං අවධාරණය කළේය.
ඇමරිකාවත් චීනයත් අතර සම්බන්ධතාවය ලෝකයේ වැදගත්ම ද්විපාර්ශ්වික සබඳතාව බව ට්‍රම්ප් මහතා මෙහිදී ප්‍රකාශ කළේය. ද්විපාර්ශ්වික සබඳතාවන්හි නව වර්ධනයන් ප්‍රවර්ධනය සඳහා චීනය සමඟ සහයෝගිතාව ශක්තිමත් කිරීමට ඇමරිකාව කැමැත්තෙන් සිටින බව ද ඔහු මෙහිදී පැවසීය. එමෙන්ම තායිවාන ප්‍රශ්නය සම්බන්ධයෙන් චීනයේ සැලකිල්ල පිළිබඳව තමා අවධානය යොමු කරන බවත්,තම ධුර කාලය තුළ ඇමරිකාව සහ චීනය අතර යහපත් සහ ස්ථාවර සම්බන්ධතාවයක් සහතික කිරීම සඳහා චීනය සමඟ සන්නිවේදනය පවත්වා ගැනීමට කැමැත්තෙන් සිටින බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
