ගෝලීය පාලනය ශක්තිමත් කිරීම පිළිබඳ චීන මහජන සමූහාණ්ඩුව සහ ප්‍රංශ ජනරජය අතර ඒකාබද්ධ ප්‍රකාශය අද(05) නිකුත් කෙරිණ.
චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ඇරයුමකට අනුව, ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් මහතා 3 වැනිදා සිට 5 වැනිදා දක්වා චීනයේ නිල සංචාරයක නිරත විය. පැවති සාකච්ඡාවේ දී බහුපාර්ශ්විකත්වය සහ ජාත්‍යන්තර තත්ත්වය පිළිබඳව රාජ්‍ය නායක දෙපළ ගැඹුරු අදහස් හුවමාරු කර ගත්හ.
එමෙන් ම, 2019 වසරේ මාර්තු 25 වැනිදා නිකුත් කළ “චීන මහජන සමූහාණ්ඩුවේ සහ ප්‍රංශ ජනරජයේ බහුපාර්ශ්විකත්වය ආරක්ෂා කිරීම සහ ගෝලීය පාලනය වැඩිදියුණු කිරීම පිළිබඳ ඒකාබද්ධ ප්‍රකාශය”, 2023 වසරේ අප්‍රේල් 7 වැනිදා නිකුත් කළ “චීන මහජන සමූහාණ්ඩුවේ සහ ප්‍රංශ ජනරජයේ ඒකාබද්ධ ප්‍රකාශය” සහ 2024 වසරේ මැයි 7 වැනිදා නිකුත් කළ “චීන මහජන සමූහාණ්ඩුවේ සහ ප්‍රංශ ජනරජයේ කෘත්‍රිම බුද්ධිය සහ ගෝලීය පාලනය පිළිබඳ ඒකාබද්ධ ප්‍රකාශය” මත පදනම්ව, ගෝලීය පාලනයට අවධානය යොමු කළ යුතු බව ද දෙරට නැවත තහවුරු කළහ.
එම ප්‍රකාශයට අනුව, එක්සත් ජාතීන්ගේ ආරම්භක සාමාජිකයන් සහ ආරක්ෂක මණ්ඩලයේ ස්ථාවර සාමාජිකයන් ලෙස, චීනය සහ ප්‍රංශය, ජාත්‍යන්තර පද්ධතිය තුළ එක්සත් ජාතීන්ගේ ආස්ථානය හා අධිකාරිය තහවුරු කිරීමට මෙන්ම එක්සත් ජාතීන්ගේ ප්රඥප්තියේ පරමාදර්ශය සහ මූලධර්මවලට අනුකූලව ජාත්‍යන්තර නීතිය සහ සහයෝගීතාවයේ ජීවගුණය මත පදනම් වූ ජාත්‍යන්තර පද්ධතිය පවත්වාගෙන යාමටත් ආරක්ෂා කිරීමටත් දැඩි කැපවීමෙන් ක්‍රියා කළ යුතුය. බහුපාර්ශ්විකත්වය ප්‍රවර්ධනය කිරීමට අඛණ්ඩ උත්සාහයන් ගන්නා ලෙස රාජ්‍ය නායක දෙපළ ඉල්ලා සිටියහ.
“එක්සත් ජාතීන්ගේ 80 වන සංවත්සර ප්‍රතිසංස්කරණ මුලපිරුම” හරහා එක්සත් ජාතීන්ගේ ප්‍රතිසංස්කරණ ප්‍රවර්ධනය කිරීමට එහි මහලේකම්වරයා දරන උත්සාහයට චීනය සහ ප්‍රංශය සහාය දක්වයි. සමස්ත පාලන වේදිකා තුළ සංවර්ධනය වෙමින් පවතින රටවල නියෝජනය වැඩි කිරීමෙන් වඩාත් සහයෝගතා ජාත්‍යන්තර පද්ධතියක් ගොඩනැගීමට එක්ව කටයුතු කරන බව දෙරට නැවත ප්‍රකාශ කරයි. ප්‍රංශය චීනය විසින් ඉදිරිපත් කරන ලද ගෝලීය පාලන මුලපිරුම ප්‍රශංසා කරමින් එය බෙහෙවින් අගය කරයි. මේ සම්බන්ධයෙන් චීනය සහ ප්‍රංශය සහයෝගයෙන් කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බව ද එම ප්‍රකාශයේ සඳහන් වී තිබේ.
ඊට අමතරව, “චීන මහජන සමූහාණ්ඩුවේ සහ ප්‍රංශ ජනරජයේ ගෝලීය දේශගුණික සහ පාරිසරික අභියෝගවලට මුහුණ දීමේ සහයෝගීතාවය පිළිබඳ ඒකාබද්ධ ප්‍රකාශය” “න්‍යෂ්ටික බලශක්තිය සාමකාමීව භාවිත කිරීමේ සහයෝගීතාවය අඛණ්ඩව ප්‍රවර්ධනය කිරීම පිළිබඳ චීන මහජන සමූහාණ්ඩුවේ සහ ප්‍රංශ ජනරජයේ ඒකාබද්ධ ප්‍රකාශය” “කෘෂිකර්මාන්තය සහ ආහාර පිළිබඳ අදහස් හුවමාරු සහ සහයෝගීතාවය පිළිබඳ චීන මහජන සමූහාණ්ඩුවේ සහ ප්‍රංශ ජනරජයේ ඒකාබද්ධ ප්‍රකාශය” මෙන්ම “යුක්රේනයේ සහ පලස්තීනයේ තත්ත්වය පිළිබඳ චීන මහජන සමූහාණ්ඩුවේ සහ ප්‍රංශ ජනරජයේ ඒකාබද්ධ ප්‍රකාශය”ද එදිනම නිකුත් කර ඇත.
