එක්සත් ජාතින්ගේ ආරක්ෂක මණ්ඩලය සහ අරාබි ලීගයේ සාමාජිකයින් වන සෞදි අරාබිය, එක්සත් අරාබි එමීරය සහ කටාර් රාජ්‍යය අතර ඉහළ මට්ටමේ සංවාදයක් ඊයේ (25) පැවැත්විණ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීනයේ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත Geng Shuang මහතා එහිදී අරාබි රටවලින් සහ ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේ, ද්වි-රාජ්‍ය විසඳුමෙහි මූලික පදනම විනාශ කරනු ලබන ඒකපාර්ශ්වික ක්‍රියාමාර්ගයන්ට ඒකාබද්ධව විරුද්ධ වන ලෙසයි.
පලස්තීන ගැටලුව මැදපෙරදිග ගැටලුවේ හරය වන අතර, “ද්වි-රාජ්‍ය විසඳුම” ක්‍රියාත්මක කිරීම පලස්තීන ගැටලුව විසඳීමට ඇති එකම ස්ථිර මාර්ගය බව Geng Shuang මහතා එහිදී සඳහන් කළේ ය. ගාසා තීරය මිහිපිට ජීවමාන නිරයක් බවට පත්ව ඇත. ගාසා යුද්ධයෙන් ජීවිත 65,000ක් අහිමි වී ඇති අතර සිදුව ඇති මානුෂීය ව්‍යසනයෙන් මිලියන දෙකකට අධික ජනතාවගේ බලාපොරොත්තු සුන් වී ඇත. කලාපීය ආතතීන් වහා සමනය කිරීම සඳහා අප පෙළඹවීම් කළ යුතු බව ඔහු පැවසීය.
සිරියාව, ලෙබනනය, යේමනය සහ අනෙකුත් රටවල ස්වෛරීභාවය, ආරක්ෂාව සහ භෞමික අඛණ්ඩතාව උල්ලංඝනය කිරීම ඊශ්‍රායලය නතර කළ යුතු ය. සිරියානු සංක්‍රාන්ති රජයට සියලු දෙනාගෙන් සමන්විත දේශපාලන ක්‍රියාවලියක් ඉදිරියට ගෙන යාමට සහ ත්‍රස්ත විරෝධී වගකීම් ඉටු කිරීමට චීනය දිරිගන්වයි. එසේම යේමන ගැටලුවේ දේශපාලන විසඳුම් ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට සහ රතු මුහුදේ නාවික කටයුතුවල නිදහස ආරක්ෂා කිරීමට වැඩි උත්සාහයක් ගන්නා ලෙසත් චීනය ඉල්ලා සිටින බව, Geng Shuang මහතා එහිදී වැඩිදුරටත් අවධාරණය කළේ ය.
ආරක්ෂක මණ්ඩලය වසර පහක් පුරා අඛණ්ඩව එක්සත් ජාතින්ගේ මහා සම්මේලනයේ ඉහළ පෙළේ සතිය තුළ, අරාබි ලීගයේ “ට්‍රොයිකා සංවිධානය” සමඟ අවිධිමත් සංවාද පවත්වා ඇත. වත්මන් තත්වයන් යටතේ මෙම සංවාදයේ වැදගත්කම වඩාත් කැපී පෙනෙන බව ද චීන නියෝජිතයා පැවසීය.
