ඇමරිකාව යුනෙස්කෝවෙන් ඉවත් වීම බහුපාර්ශ්විකත්වයේ මූලධර්මයන්ට පටහැනි බව එහි ප්‍රධානියා කියයි

ඇමරිකාව යුනෙස්කෝවෙන් ඉවත් වීම බහුපාර්ශ්විකත්වයේ මූලධර්මයන්ට පටහැනි බව එහි ප්‍රධානියා කියයි

ගෝලීය බහුපාර්ශ්විකත්වයේ මූලධර්මයන්ට පටහැනි වෙමින් ඇමරිකාව යළිත් යුනෙස්කෝවෙන් ඉවත් වීමට ගත් පියවර කණගාටුදායක නමුත් එය බලාපොරොත්තු වූවක් බව යුනෙස්කෝ සංවිධානය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එහි අධ්‍යක්ෂ ජනරාල් Audrey Azoulay මහත්මිය දැනුම් දී ඇත්තේ,  ඇමරිකාවේ මෙම තීරණය පුදුමයක් නොවන අතර ඒ වෙනුවෙන් යුනෙස්කෝව සූදානම් වී ඇති බවයි.

එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය (UNESCO) සමඟ දෙවන වරටත් ඉවත්ව පසුව නැවතත් එක්ව වසර දෙකකට පසු යළි ඉන් ඉවත් වීමට ගත් තීරණය ඇමරිකාව නිවේදනය කරනු ලැබුවේ ඊයේ (22) දිනයේ ය.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මෙම ඉවත්වීමට හේතුව ලෙස දන්වා ඇත්තේ, ඊශ්‍රායල-පලස්තීන ගැටුම් සම්බන්ධයෙන් ජනතාව අතර බෙදීම් ඇති කරන එක්සත් ජාතීන්ගේ සංස්කෘතික ඒජන්සියේ සමාජ හා සංස්කෘතික ප්‍රතිපත්තිය බව ය.

පලස්තීනය, සාමාජික රාජ්‍යයක් ලෙස පිළිගැනීමට යුනෙස්කෝව ගත් තීරණය ඉතා ගැටළු සහගත බවත්, එය ඇමරිකානු ප්‍රතිපත්තියට පටහැනි වනවා සේම එම සංවිධානය තුළ ඊශ්‍රායල විරෝධී අදහස් ව්‍යාප්තියට ද දායක වී ඇති බවත් ඇමරිකාව පවසයි.

2026 වසරේ දෙසැම්බර් මස අවසානයේ සිට ක්‍රියාත්මක වීමට නියමිත මෙම ඉවත් වීම ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය යටතේ සිදු වන දෙවන අවස්ථාව වනු ඇත.

මෙම වසරේ මුල් භාගයේ දී ඔහුගේ දෙවන ධුර කාලය ආරම්භ වූ දා සිට ට්‍රම්ප් පරිපාලනය, දේශගුණික විපර්යාස පිළිබඳ පැරිස් ගිවිසුමෙන් සහ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ද ඉවත් වන බව නිවේදනය කර තිබුණි.

ඇමරිකාව දිගු කලක සිට යුනෙස්කෝව සමඟ ද පවත්වා ගනු ලැබූයේ මතභේදාත්මක සබඳතාවක් වන අතර, එහිදී දේශපාලන ගැටළු මතු කරමින් අවස්ථා කිහිපයකදීම ඉන් ඉවත් විය.

1984 වසරේ දී, හිටපු ජනපති රොනල්ඩ් රේගන් පරිපාලනය මුල්වරට ඇමරිකාව යුනෙස්කෝවෙන් ඉවත් කර ගත් අතර, පසුව 2011 වසරේ දී බැරැක් ඔබාමා පාලනය එක්සත් ජාතීන්ගේ සංස්කෘතික ආයතනයට අරමුදල් සැපයීම ද කපා හැරියේ ය.

මේ අතර, මෙවර ඇමරිකාවේ ඉවත් වීමේ තීරණය පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල්වරිය අනතුරු අඟවා ඇත්තේ, එක්සත් ජනපදයේ ප්‍රමුඛ පෙළේ යුනෙස්කෝ හවුල්කරුවන්ට, මෙය බලපානු ඇති බවට ය.

කෙසේවෙතත්, ඇමරිකාවේ ඉවත් වීම හරහා එරටින් හිමි වන අරමුදල් අහිමි වුව ද, සංවිධානයේ සාමාන්‍ය මෙහෙයුම් සඳහා එය බලපෑමක් ඇති නොකරන බව ද ඇය තහවුරු කර ඇත.

2017 වසරේ දී ජනාධිපති ට්‍රම්ප් පරිපාලනය යටතේ අවසන් වරට ඇමරිකාව ඉවත් වීමෙන් පසුව ද, යුනෙස්කෝව සිය මෙහෙවර සාමයට දායක විය හැකි ඕනෑම ස්ථානයක අර්ථවත් ක්‍රියාමාර්ග ගැනීමට අදාළ උත්සාහයන් තීව්‍ර කර ඇති බවත්, එහි තීරණාත්මක වැදගත්කම නැවත තහවුරු කරන බවත් යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල් Audrey Azoulay මහත්මිය අවධාරණය කර තිබේ.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *