චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අද(14) බෙයිජිං මහජන මහා ශාලාවේ දී චිලී ජනාධිපති Gabriel Boric මහතා හමුවිය. හෙතෙම චීන-ලතින් ඇමරිකානු සහ කැරිබියානු රාජ්‍ය සංසදයේ සිව්වැනි අමාත්‍ය මට්ටමේ සමුළුවට එක් වීම සඳහා චීනයට පැමිණියේ ය.
ෂී ජින් පිං මහතා එහිදී සඳහන් කළේ, මෙම වසර චීනය සහ චිලී අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 55 වන සංවත්සර වසර බවයි. අඩ සියවසකට වැඩි කාලයක් පුරා, ජාත්‍යන්තර තත්ත්වය කෙසේ වෙනස් වුවද, චීන-චිලී සබඳතා සෑම විටම කුණාටු මැදින් යාත්‍රා කර ඇති අතර, ලතින් ඇමරිකානු රටවල් සමඟ චීනයේ සබඳතාවල සංවර්ධන ප්‍රවණතාවයට ද ආදර්ශය දී තිබේ. චිලී රාජ්‍යය සමඟ, දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය ශක්තිමත් කිරීමට මෙන්ම, අන්‍යෝන්‍ය ගෞරවය, අන්‍යෝන්‍ය සමානාත්මතාවය සහ අන්‍යෝන්‍ය යහපත පවත්වා ගැනීමට ද, චීනය කැමැත්තෙන් සිටින බව, චීන ජනපති අවධාරණය කළේ ය. “එක් තීරයක් එක් මාවතක්” ඒකාබද්ධව ගොඩනැගීම සඳහා සහයෝගිතා සැලැස්ම දෙපාර්ශ්වයම ක්‍රියාත්මක කළ යුතු ය. යටිතල පහසුකම් හා හරිත ඛනිජ යන ක්ෂේත්‍රවල සහයෝගීතා ගැඹුරු කරන අතරම, කෘත්‍රිම බුද්ධිය සහ ඩිජිටල් ආර්ථිකය වැනි නව වර්ධන ක්ෂේත්‍ර ද සංවර්ධනය කළ යුතු ය. බහුපාර්ශ්විකත්වයේ සහ නිදහස් වෙළඳාමේ දැඩි ආරක්ෂකයන් ලෙස, චීනය සහ චිලී බහුපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කළ යුතු බවත්, ගෝලීය දකුණේ පොදු අවශ්‍යතා ආරක්ෂා කළ යුතු බවත්, ෂී ජින් පිං මහතා එහිදී සඳහන් කළේ ය.
චීනය සමඟ සබඳතාවලට චිලී රාජ්‍යය විශාල වැදගත්කමක් ලබා දෙන බව Gabriel Boric මහතා පැවසීය. චීනය තම රටේ වැදගත්ම වෙළඳ හවුල්කරු බවට පත්ව ඇතැයි ද හෙතෙම කීය. දෙපාර්ශ්වය අතර සහයෝගීතාවය දෙරටේ ජනතාවට ප්‍රතිලාභ ගෙන දී තිබේ. එකම චීනය මූලධර්මය චිලී රාජ්‍යය දැඩි ලෙස අනුගමනය කරයි. චීනය සමඟ, වෙළඳාම, ආයෝජන සහ කෘත්‍රිම බුද්ධිය වැනි ක්ෂේත්‍රවල සහයෝගීතා තවදුරටත් පුළුල් කිරීමට බලාපොරොත්තු වන බව චිලී ජනපති සඳහන් කළේ ය. එසේම චීනය සමඟ, උසස් තත්ත්වයේ “එක් තීරයක් එක් මාවතක්” ඒකාබද්ධව ගොඩනැගීමට මෙන්ම, චිලී-චීන සබඳතාවල වඩාත් ප්‍රත්‍යක්ෂ ප්‍රතිඵල ප්‍රවර්ධනය කිරීමට හැකිවනු ඇතැයි ද, Gabriel Boric මහතා බලාපොරොත්තු පළ කළේ ය.
මේ අතර Gabriel Boric මහතාගේ චීනයේ සංචාරයේ දී, දෙපාර්ශ්වය සහයෝගිතා ගිවිසුම් රැසකට අත්සන් තැබූහ.