පළාත් පාලන ආයතනවලට සභිකයන් තෝරා පත්කර ගැනීමට පෙරේදා (06) පැවති ඡන්ද විමසීමේදී ජාතික ජන බලවේගය ඡන්ද 4,503,930ක් ලබා පළාත් පාලන ආයතන 265ක බලය තහවුරු වන පරිදි ඓතිහාසික ජයග්‍රහණයක් හිමි කරගෙන තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගය මේ අනුව හිමි කරගත් සමස්ත සභික ධුර සංඛ්‍යාව 3927ක් වන අතර, නිල ප්‍රතිඵලවලට අනුව බලය තහවුරු කරගත් පළාත් පාලන ආයතන අතර මහ නගර සභා 23ක් නගර සභා 26ක් ප්‍රාදේශීය සභා 217ක් ඇතුළත් වේ.
සමගි ජන බලවේගය මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඡන්ද 2,258,480ක් ලබාගෙන සභික ධුර 1767ක් අත්පත් කර ගත්තේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද මෙවර ඡන්ද 954,517ක් ගනිමින් සභික ධුර 742කට හිමිකම් කියා තිබේ.
මේ අනුව ජාතික ජන බලවේගය හිමි කරගත් ඡන්ද ප්‍රමාණය සියයට 43.26ක් වන අතර සමගි ජන බලවේගය සියයට 21.69ක් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සියයට 9.17ක් වශයෙන් ප්‍රතිශත දිනාගෙන තිබේ. දිලිත් ජයවීර මහතාගේ සර්වජන බලය පක්ෂයට පසුගිය මහමැතිවරණයේදී ඡන්ද 178,006ක් හිමි වූ අතර, නිමාවට පත් වූ පළාත් පාලන මැතිවරණයෙන් ඒ මහතා ලබාගෙන ඇත්තේ ඡන්ද 294,681ක් පමණි. එය ප්‍රතිශතයක් ලෙස සියයට 2.83ක් වේ. ඒ අනුව සර්වජන බලය පක්ෂය මෙවර ඡන්ද 116,675ක් වැඩි කරගෙන තිබේ.
පසුගිය 2018 වසරේදී මෙරට අවසන් වරට පැවති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් පාලන ආයතන 226ක බලය තහවුරු කර ගනිමින් එම මැතිවරණය ජයග්‍රහණය කර තිබූ අතර, එම වාර්තා බිඳ හෙළමින් මෙවර ජාතික ජන බලවේගය පළාත් පාලන ආයතන 268ක් දිනා ගැනීමට සමත්ව තිබේ.
එමෙන්ම මහජන සන්ධානය ආසන 300ක්, ඉලංගෙයි තමිල් අරසු කච්චි ආසන 377ක්, සර්වජන බලය ආසන 226ක්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ආසන 116ක්, ප්රජාතන්ත්රවාදී දෙමළ ජාතික සන්ධානය ආසන 106ක්, සමස්ත ලංකා මක්කල් කොංග්‍රසය ආසන 60ක් වශයෙන් මෙවර ජයග්‍රහණය කර තිබේ.