චීන වාණිජ අමාත්‍ය Wang Wentao මහතා සහ ඇමරිකානු වාණිජ ලේකම් Gina Raimondo මහත්මිය අතර ඊයේ (8) දුරකථන සාකච්ඡාවක් පැවැත්වුණු බව චීන වාණිජ අමාත්‍යංශය පැවසීය. සැන් ෆ්රැන්සිස්කෝ රැස්වීමේදී දෙරට රාජ්‍ය නායකයින් අතර ඇති කරගත් වැදගත් එකඟතාව ක්‍රියාවට නැංවීම කෙරෙහි අවධානය යොමු කරමින් දෙපාර්ශ්වයේ අවධානයට ලක්විය යුතු අදාළ ආර්ථික හා වෙළඳ ගැටළු පිළිබඳව අවංක, ගැඹුරු සහ ප්‍රායෝගික සන්නිවේදනයක් එහි දී පවත්වා තිබේ.
Wang Wentao මහතා පෙන්වා දුන්නේ අන්‍යෝන්‍ය ගෞරවය, සාමකාමී සහජීවනය සහ ජයග්‍රාහී සහයෝගතාව මත සබඳතා නිවැරදි මාර්ගයට යොමු කරමින් දෙරට රාජ්‍ය නායකයින් එළැඹි වැදගත් එකඟතා ඇමරිකාව සමග ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීමට චීනය කැමැත්තෙන් සිටින බවයි.
චීනයට අදාළ අර්ධ සන්නායක ප්‍රතිපත්තිය සහ චීන නිෂ්පාදිත බුද්ධිමය අන්තර් ජාල සම්බන්ධිත වාහන සඳහා ඇති ඇමරිකාවේ සීමාවන් කෙරෙහි Wang Wentao මහතා දැඩි කනස්සල්ල පළ කළේය.
ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ ගෝලීය කාර්මික සහ සැපයුම් දාමවල ආරක්ෂාව සහ ස්ථාවරත්වය පවත්වා ගැනීමටත්, දෙරටේ ව්‍යාපාරික ප්‍රජාවන් අතර සහයෝගතාව සඳහා හිතකර ප්‍රතිපත්තිමය පරිසරයක් නිර්මාණය කිරීමටත් ආර්ථික හා වෙළඳ ක්ෂේත්රයේ ජාතික ආරක්ෂක සීමාවන් පැහැදිලි කිරීම අවශ්‍ය බවයි.
චීන ව්‍යවසායන්ගේ විශේෂිත අවශ්‍යතා කෙරෙහි අවධානය යොමු කොට, චීන සමාගම්වලට පනවා ඇති සම්බාධක වහා ඉහත් කරන ලෙසත්, ඇමරිකාව තුළ චීන සමාගම් සඳහා පවතින ව්‍යාපාරික පරිසරය වැඩි දියුණු කරන ලෙසත් චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටින බව Wang Wentao මහතා ප්‍රකාශ කර ඇත.