ජපාන අගමැති Fumio Kishida එරට යසුකුනි ස්මාරකයට පූජා භාණ්ඩ යැවීම සම්බන්ධයෙන් චීනය විරෝධය පළ කරයි. ජපාන අගමැතිවරයා ඊයේ (15) චාරිත්‍රානුකූලව එරට යසුකුනි ස්මාරකයට පූජා භාණ්ඩ යවා ඇත. ජපාන කැබිනට් මණ්ඩල සාමාජිකයෝ හා ඇතැම් මන්ත්‍රීවරු ද යසුකුනි ස්මාරකයට උපහාර දැක්වූහ.
ඊයේ චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ලින් චියෙන් මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ ජපාන අගමැතිවරයා ඇතුළු දේශපාලනඥයන්ගේ එම ක්‍රියාකලාපයට දැඩි ලෙස විරෝධය පළ කරන බවයි.
මීට වසර 79කට පෙර චීන ජනතාව ලෝක ජනතාව සමග එක්ව ජපාන හමුදා ආක්‍රමණිකයන් පරාජය කරමින් යුද ජයග්‍රහණය ලබාගෙන තිබිණ. විදේශ රටවලට එරෙහිව ආක්‍රමණශීලි යුද්ධ ක්‍රියාත්මක කළ ජපාන රණවාදීන්ගේ අධ්‍යාත්මික සංකේතය වූයේ යසුකුනි ස්මාරකයයි. 2වන ලෝක යුද්ධයේ දී මිය ගිය ජපාන යුද අපරාධකරුවන් සමරන ස්ථානය වන්නේ ද යසුකුනි ස්මාරකයයි. යසුකුනි ස්මාරකය සම්බන්ධයෙන් ජපාන දේශපාලනඥයන් ක්‍රියා කළ ආකාරය මගින් ඓතිහාසික ප්‍රශ්න කෙරෙහි ජපානය දක්වන වැරදි ආකල්පය මැනවින් පිළිබිඹු වී ඇතැයි ලින් චියෙන් මහතා පෙන්වා දෙයි. සිය ආක්‍රමණ ඉතිහාසය පිළිබඳව නිවැරදි අයුරින් සිතා බැලීම, ජපානය සෙසු ආසියා රටවල් සමග සුහද සම්බන්ධතා යළි ගොඩ නැගීමේ වැදගත් පූර්ව අවශ්‍යතාවක් බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා අවධාරණය කර තිබේ.