චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ රුසියානු ජනාධිපති ව්ලැඩ්මිර් පූටින් මහතා සාකච්ඡාවක් පවත්වති. එම සාකච්ඡාව බෙයිජිං අගනුවර පිහිටි මහජන මහා ශාලාවේ දී අද (16) උදෑසන පැවැත්විණ.
චීන-රුසියානු රාජ්‍යතාන්ත්‍රික සබඳතාවේ 75 වැනි සංවත්සරය මෙම වසරේ දෙරට සබඳතා සංවර්ධනය පිළිබඳ වැදගත්ම තේමාව වන බව ෂී ජින් පිං මහතා එහිදී පෙන්වා දුන්නේය. ජාත්‍යන්තර තලයේ විවිධ විපර්යාස සහ අභියෝගවලට දෙරට සාර්ථකව මුහුණ දී ඇත. විශාල මෙන්ම අසල්වැසි රටවල් දෙකක් ලෙස චීනය හා රුසියාව අන්‍යෝන්‍ය ගරුත්වය රැක ගනිමින්, අවංක හා ජයග්‍රාහී සුසංයෝගයකින් යුතුව කටයුතු කිරීම පිළිබඳ ආදර්ශනයක් බවට පත් ව ඇතැයි ද ඔහු පැවසීය.
ගෙවි ගිය වසර ගණනාවක් තුළ, තමා ව්ලැඩ්මිර් පූටින් ජනාධිපතිවරයා සමඟ හමුවීම් 40 කට වැඩි සංඛ්‍යාවක් පවත්වා ඇති අතර, සමීප සන්නිවේදනයක් අඛණ්ඩව පවත්වා ගනිමින් සිටින බව ද චීන ජනාධිපතිවරයා කියාසිටියේය. ඉන් දෙරට සබඳතාවේ යහපත් සංවර්ධනයට උපායමාර්ගික නායකත්වය ලබා දී ඇති බව ද ඔහු පැවසීය. අසීරුතා මැදින් දිනා ගත් වර්තමාන චීන-රුසියානු සබඳතාවේ සංවර්ධනය කෙරෙහි දෙපාර්ශ්වයම දැඩි සැලකිල්ල යොමු කර එහි ආරක්ෂාව තහවුරු කළ යුතු බව ද හෙතෙම අවධාරණය කළේය.
චීන-රුසියානු සබඳතාවේ ස්ථාවර සංවර්ධනය දෙරටේ මෙන්ම දෙරට ජනතාවගේ මූලික ප්‍රතිලාභ හා ගැලපේ. එසේම එය කලාපීය හා ලෝක සාමය, ස්ථාවරත්වය, සමෘද්ධියටත් හිතකර වන බව ද ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේය. නව ගමනේ දී, අන්‍යෝන්‍ය විශ්වාසය සහිතව රුසියාවේ හොඳ අසල්වැසියෙකු, මිතුරෙකු මෙන්ම හවුල්කරුවෙකු වීමට චීනය කැමැත්තෙන් සිටියි. රුසියාව සමඟ එක්ව ජනතාව අතර දිගුකාලීන මිත්‍රත්වය තහවුරු කිරීමටත්, දෙරට සංවර්ධනය සාක්ෂාත් කිරීමටත්, ගෝලීය සමානාත්මතාව හා යුක්තිය ආරක්ෂා කිරීමටත් චීනය අපේක්ෂා කරන බව ද චීන ජනාධිපතිවරයා කියාසිටියේය.