මැදපෙරදිග දිගුකාලීන සාමය හා ස්ථාවරත්වය වෙනුවෙන් චීනයේ සහාය

මැදපෙරදිග දිගුකාලීන සාමය හා ස්ථාවරත්වය වෙනුවෙන් චීනයේ සහාය

චීන විදේශ අමාත්‍ය Wang Yi මහතා සහ සෞදි අරාබියේ රාජ්‍ය අමාත්‍යවරයකු, අමාත්‍ය මණ්ඩල සාමාජිකයකු සහ ජාතික ආරක්ෂක උපදේශකවරයකු වන Musaad bin Mohammed Al-Aiban මහතා අතර සාකච්ඡාවක් ඊයේ(02) පැවැත්විණ. ඒ චීනයේ බෙයිජිං නගරයේදීය.

මෙහිදී සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු වන අග්‍රාමාත්‍ය Mohammed bin Salman මහතා විසින් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා වෙත එවූ ලිපියක් Al-Aiban මහතා විසින් භාර දී ඇත. එම ලිපියෙන් ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කිරීම සහ දෙරටට පොදුවේ වැදගත් වන කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබේ. චීනය සහ සෞදි අරාබිය අතර පවතින සබඳතාව, තම මැදපෙරදිග රාජ්‍යතාන්ත්‍රික සබඳතාවන්හි ප්‍රමුඛස්ථානයක් උසුලන බව Wang Yi මහතා එහිදී පැවසීය.

දෙරටේ නායකයින්ගේ උපායමාර්ගික මගපෙන්වීම යටතේ චීන-සෞදි සබඳතා අඛණ්ඩව යහපත් වර්ධනයක් පෙන්නුම් කර ඇති බවත්, එම සබඳතා කලාපයේ ස්ථාවරත්වය පවත්වා ගැනීමට බලවේගයක් බවට පත්ව ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. මැදපෙරදිග සහ ගල්ෆ් කලාපයේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ද ඔවුහු අදහස් හුවමාරු කර ගත්හ.

කලාපයේ ජනතාවගේ දිගුකාලීන අවශ්‍යතා සපුරාලන නව කලාපීය ආරක්ෂක ව්‍යුහයක් ගොඩනැගීමට කලාපීය රටවල් සාකච්ඡා හා එකඟතා මාර්ගයෙන් කටයුතු කළ යුතු බව Wang Yi මහතා අවධාරණය කළේය. කලාපීය අර්බුදකාරී තත්ත්වයන්ගෙන් කඩිනමින් මිදී දිගුකාලීන ස්ථාවරත්වයක් අත්කර ගැනීම සඳහා සෞදි අරාබිය ඇතුළු සියලු පාර්ශ්ව සමග සන්නිවේදනය හා සම්බන්ධීකරණය පවත්වාගෙන යමින් වැදගත් කාර්යභාරයක් ඉටු කිරීමට චීනය සූදානම් බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *