ට්‍රම්ප්ගේ බදු ප්‍රතිපත්තිය ලෝකයට ඉතාම හානිකර බවත් එය රෝග ලක්ෂණයක් මිස රෝග නිධානය නොවන අතර ඊට විසඳුම් සෙවීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බව කොළඹ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා අධ්‍යයන අංශයේ අංශ ප්‍රධානී ආචාර්ය පවිත්‍රා ජයවර්ධන මහත්මිය පැවසුවාය.
ලෝකයේ ප්‍රධාන බලවතා ලෙස තමන්ව හඳුන්වා ගන්නා රාජ්‍ය මේ ආකාරයෙන් බදු ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට හේතුව එරට විදේශ ප්‍රතිපත්තිය නොව ඇමරිකානු අභ්‍යන්තර ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීමක් හේතුවෙන් බව ඔවුන් පෙන්වා දෙයි. ඇමරිකානු ජනතාව මේ වන විටත් විශාල ආර්ථික අර්බුදයන් රැසකට මුහුණ දී සිටී. ට්‍රම්ප් ජනාධිපති ලෙස පත් වන්නේ ද එම ආර්ථික අර්බුදයට ඇති එකම විසඳුම ලෙස එම අවස්ථාවේ ජනතාව විශ්වාස කළ බැවිනි. එවැනි අර්බුදයක් නොතිබෙන්නට එරට ජනතාව ට්‍රම්ප් තෝරා නොගැනීමට බොහෝ දුරට ඉඩ තිබිණ. තීරුබදු සාධාරණීකරණය කරන ට්‍රම්ප් සඳහන් කරන්නේ එය ඇමරිකානු ආරක්ෂණවාදී පියවරක් බවයි. නමුත් මේ ඔස්සේ ශ්‍රී ලංකාව වැනි රටවලට සිදු වන බලපෑම සුළුපටු නොවන බව ද ඇය කියා සිටී.
ලෝකයේ රාජ්‍යන් අතර සම්බන්ධතා ඇති කිරීමේ බලවේගය වන්නේ වෙළඳාමයි. වෙළඳාම අඩු වීම හෝ නැති වීම තුළ ලොව අන්තර්පරායත්තතාවයට සෘජු බලපෑමක් ඇති වේ. මෙවැනි වාතාවරණයක් තුළ රාජ්‍යන්ට ස්වයංව නැඟී සිටීමට සිදු වුව ද බොහෝ රටවලට එය පහසු නොවේ. සාම්ප්‍රදායික වෙළඳ අන්තර් සම්බන්ධතාවන්හි නව ඉසව් සොයා යාමට මේ මොහොතේ බොහෝ රටවල් උත්සාහ ගනු ඇත. ඇමරිකාව සහ යුරෝපය අතර තිබූ සුවිශේෂ සම්බන්ධතාවය මත ලෝක පර්යාය ගොඩනැඟී තිබිණ. එක්සත් ජාතීන්ගේ සංවිධානය, ලෝක වෙළඳ සංවිධානය, ලෝක බැංකුව වැනි ආයතන හරහා ක්‍රියාත්මක වූ ගෝලීය පාලනය නැතහොත් ආර්ථික පද්ධතියට සහ දේශපාලන පද්ධතියට කරන ලද බලපෑම මේ වන විට කෙමෙන් දුර්වල වෙමින් පවතී. මෙතෙක් ඔවුන්ගේ පාලන පද්ධතියට ලොව රටවල් නතු කිරීමේ ක්‍රමවේදය බිඳ වැටෙන අතර ඇමරිකානු ප්‍රතිපත්ති හරහා එම පද්ධතිය අභියෝගයකට ලක් ව තිබේ. දේශපාලන, ආර්ථික, යුදමය වශයෙන් ලොව න්‍යාය පත්‍රය සකස් කිරීමට නායකත්වය ගත් ඇමරිකාව සහ යුරොපා සම්බන්ධතා මේ වන දුර්වල වෙමින් පවතී. ඒ සමගම ලෝක පර්යාය තුළ මීළඟ ගෝලීය නායකත්වය විතැන් වනු පෙනේ. මේ වන විට චීනය ප්රමුඛ ගෝලීය දකුණේ නැඟීම ඊට කදිම විකල්පයක් ලෙස ගොඩනැඟෙමින් ඇත. හිටපු බලවත් රාජ්‍යන් පිරිහීමකට පත් වන විට අනෙක් පසින් ගොලීය දකුණේ නැඟීම සමග චීනය ඉතා සුවිශේෂ ස්ථානයක පසුවන බව කිව හැකිය. බ්‍රික්ස් රටවල් අතර ද චීනය ඉතා ප්‍රබල අවකාශයක් අත් කරගෙන සිටී. ශ්‍රී ලංකාව වැනි රටක් මේ වන විට ගෝලීය පද්ධතිය තුළ සිදු වන වෙනස්කම් සඳහා යහපත් මාර්ගයක් කරා යොමු විය යුතුය. ට්‍රම්ප්ගේ තීරුබදු තුළ තවදුරටත් එල්ලී නොසිට ලොව සෙසු රටවල් නව මාවත් සහ වෙළඳ මෙන්ම නව ආර්ථික ප්‍රවේශ කරා යොමු වීමේ අවශ්‍යතාව පවතී. පවතින තීරුබදු අඩු කර ගැනීම හෝ ඉවත් කර ගැනීමට උත්සාහ දරනු වෙනුවට මේ අවස්ථාවේ නව ඉසව් ගවේශනය කිරීමේ අවශ්‍යතාව ඇය පෙන්වා දෙයි. නව සම්බන්ධතා ගොඩනඟා ගත යුත්තේ කවුරුන් සමග ද, ඉදිරි මාර්ගය විවෘත කර ගත යුත්තේ කුමන රටවල් සමග ද යන්න මේ අවස්ථාවේ විමසිලිමත් වීම වැදගත් වේ. ඇමරිකානු තීරුබදු පැනවීම හුදෙක් ආර්ථික ප්‍රශ්නයක් නොව ලෝක පර්යායේ ආර්ථික දේශපාලන ගැටලුවක් ලෙස හඳුනාගෙන නිසි ඉදිරි ක්‍රියාමාර්ග වෙත පිවිසිය යුතු බව ද කොළඹ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා අධ්‍යයන අංශයේ අංශ ප්‍රධානී ආචාර්ය පවිත්‍රා ජයවර්ධන මහත්මිය පැවසුවාය.