ගෝලීය පුනර්ජීවනයට මග පාදන චීන ඇමරිකානු සබඳතාව

ගෝලීය පුනර්ජීවනයට මග පාදන චීන ඇමරිකානු සබඳතාව

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව ආගමනයත් සමග ඇමරිකාව සහ චීනය අතර කාලයක් පුරා තිබූ සීතල යුද්ධය ලෝක ආර්ථිකය අවධානමට ලක් කරමින් වඩාත් විනාශකාරී තෙවැනි ලෝක යුද්ධයක් කරා වර්ධනය වනු ඇතිද?වෙළඳ සම්බාධක පැනවීම පමණක් නොව ඇමරිකානු හිතවාදී අනෙකුත් රටවල් සහ නේටෝ රටවල් චීනයට සතුරුකම් පෑම තුළ චීන ආර්ථිකයට වන බලපෑම ලෝක ආර්ථිකයේ අස්ථාවරත්වයට හේතුවක් වනු ඇති බවට බොහෝ විචාරක මත පළ කෙරිණ. එහෙත් ඩොනල්ඩ් ට්‍රම්ප් දෙවන වර සිය ජනපති ධුරයේ දිවුරුම් දීමට දින කීපයක් තිබියදී චීන ඇමරිකා නව සබඳතාවේ බලාපොරොත්තු පිළිබඳ සුබවාදී සුදු කොඩියක් ලෙළවා තිබේ. ෂී ජින්පිං සහ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරුන් අතර පසුගියදා ඇති වූ දුරකථන සංවාදය දෙරටට පමණක් නොව ලෝක ආර්ථිකයට හා ස්ථාවරත්වයට ප්‍රබල සාධකයක් එක් කරන බව කිව යුතුය.

“ලෝක මට්ටමේ” ව්‍යාපාරික පරිසරයක් ගොඩනැගීමට ආයතනික විවෘත කිරීම් සහ උත්සාහයන් සඳහා චීනයේ නායකත්වය ඇමරිකාවෙන් කිහිපවරක් ඉල්ලා තිබේ. ආයතනික විවෘත කිරීම් පුළුල් කිරීමේ අවශ්‍යතාව සහ ජාත්‍යන්තර ප්‍රමිතීන් අනුගමනය කිරීමත්, වෙළඳාම සහ ආයෝජන කළමනාකරණය කරන ආකාරය ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාවත් ෂී ජින්පිං ජනාධිපතිවරයා පේරු හි හමුවේ දී හිටපු ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ට පවා යෝජනා කර ඇත. එහෙත් වෙළඳ ඒකාධිකාරය සහ ආරක්ෂාවට තර්ජනයක් බව හුවාදක්වමින් චීනය වෙත සම්බාධක පැනවීමත්, චීනයේ අභ්‍යන්තර තායිවාන ප්‍රශ්නයට මැදිහත් වීමේත් විවිධ උත්සාහයන් ඇමරිකාව විසින් ක්‍රියාත්මක කරනු ලැබිණ.ඇමරිකා-චීන වෙළඳ ආතතීන් පාරිභෝගිකයින්ට මෙන්ම දෙරටේම බොහෝ නිෂ්පාදකයින්ට සෘණාත්මකව බලපා ඇත. චීන ආර්ථිකයටත් වඩා ඇමරිකාවේ ක්‍රියා කලාපය සෙසු රටවල් හි ආර්ථිකයන් ද අවධානමකට හෙළීය. චීනයට පාඩම් ඉගැන්වීමට යාමෙන් ඇමරිකාවේ උද්ධමනය තවදුරටත් ඉහළ යන බවට එරට ජනතාව රජයට දෝෂාරෝපන එල්ල කළහ.වරක් ඇමරිකානු වාණිජ මණ්ඩලයේ සභාපති ටොම් ඩොනහිව් රොයිටර් වෙත පැවසුවේ ට්‍රම්ප් චීනය වෙළඳ යුද්ධයක් වෙත තල්ලු කරන බවත් නිදහස් හා සාධාරණ වෙළඳාමක් අත්කර ගැනීමේ මඟ මෙය නොවන බවත්ය. ධවල මන්දිරයේ ආර්ථික උපදේශකවරුන්ගේ මතය වූයේ චීනය ඇමරිකානු කර්මාන්තයේ අනාගතය ඉලක්ක කර නිෂ්පාදන සිදු කරන බවත් චීනය එය අත්පත් කර ගතහොත් ඇමරිකාවට අනාගතයක් නොවනු ඇති බවත්ය. ඇමරිකාව තීරුබදු පැනවීමේ අර්ථය ඇමරිකානු මෘදුකාංග නිෂ්පාදකයින් ආරක්ෂා කිරීම නම් එය අසාර්ථක වී ඇති බව එරට වෙළඳ සංගම් ප්‍රකාශ කර තිබේ. එදිරිවාදීන්ටත් වඩා ඇමරිකානු නිෂ්පාදකයින් එයින් පීඩාවට පත්ව තිබීම එයට හේතුවයි. ඇමරිකානු තාක්ෂණික ඒකාධිකාරය, මෝටර් රථ කර්මාන්තයේ ඒකාධිකාරය වැනි බොහෝ වෙළඳපොල ආරක්ෂණවාදයට චීන නිෂ්පාදනයන් තර්ජනයක් විය. එහෙත් ගෝලීය වෙළඳපොලේ සැපයුම්කරු වන චීනය මත කලාපීය හා ගෝලීය ආර්ථිකයේ වැඩි කොටසක් පැටවී ඇත. මේ නිසා චීනයට ඇමරිකාවේ තර්ජන මත පසුබා සිටීමට නොහැක. ඇමරිකාවට ද චීනය සමග විරසක වී තනි ගමනක් යා නොහැකි බවට මේ වන විට පසක් වී ඇත. එබැවින් ලෝක ආර්ථිකය ඉහළට එසවීමට නම් චීනය හා ඇමරිකාව එක්ව ගමන් කළ යුතුව තිබේ.

දෙපාර්ශ්වය එක්ව ගමන් කරන්නේ නම් එය චීන-ඇමරිකා ජයග්‍රහයට පමණක් නොව සමස්ත ලෝකයේම පොදු ජයග්‍රහණ සාක්ෂාත් කිරීමට හේතුවක් වනු ඇත. චීනය හා ඇමරිකාව රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කර වසර 45 ක් ගත වී තිබේ. දෙරට සහයෝගයෙන් කටයුතු කළහොත් එයින් දෙරටට යහපත ලැබෙන බවත්, එසේ නොමැති නම් දෙරටට ලැබෙන්නේ අවාසි බවත්, ඉතිහාසය සනාථ කර ඇත. ඉකුත් නොවැම්බර් මාසයේ පේරු රාජ්‍යයේ ලීමා අගනුවරදී චීන හා ඇමරිකානු ජනාධිපතිවරුන් හමු වූ අවස්ථාවේ දී දෙරට එදිරිවාදීකම් පසෙක ලා සංවාද හා සහයෝගිතා නිරන්තරයෙන් පැවැත්වීමේ වැදගත්කම චීන ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය. එමෙන්ම දෙරට අතර ද්විපාර්ශ්වික සම්බන්ධතාවන් හිදී තායිවාන ප්‍රශ්නය, ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම්, චීනයේ සමාජවාදී ක්‍රමය සහ සංවර්ධන අයිතීන් යන කරුණු හතර කෙරෙහි ඇමරිකාව නිසි ආකල්පය දැක්විය යුතු බව ද චීන ජනාධිපතිවරයා අවධාරණය කළේ ය.

මෑත වසරවල චීනය හා ඇමරිකාව අතර යම් යම් ගැටුම් පවතින නමුත් දෙරට සම්බන්ධීකරණ යාන්ත්‍රණ 20කට වැඩි සංඛ්‍යාවක් ස්ථාපිත කිරීමෙන් ආරක්ෂක, ආර්ථික හා වෙළඳ, මත්ද්‍රව්‍ය මර්දනය, කෘෂිකර්මය ඇතුළු ක්ෂේත්‍රයන්හි සක්‍රිය සහයෝගිතා ප්‍රතිඵල ලබාගෙන ඇත. එබැවින් ලොව වැදගත්ම ද්විපාර්ශ්වික සබඳතාවක් වශයෙන් චීන-ඇමරිකා සබඳතාව දෙරටට පමණක් නොව ලෝකයටත් විශාල වශයෙන් බලපාන බව වටහා ගත යුතුව තිබේ. ඇමරිකානු ජනපති ධුරයට තේරී පත්ව සිටියදී ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවා පසුගිය දා දුරකථන සාකච්ඡාවේ දී පවසා ඇත්තේ ඇමරිකාව හා චීනය එක්ව ලෝකයේ සියලු ගැටළු විසඳා ගත හැකි බව ය. වත්මන් ගෝලීය තත්ත්වය හමුවේ ලොව විශාලතම ආර්ථිකය හිමි රටවල් දෙක වශයෙන් චීනය හා ඇමරිකාව මුහුණ දී සිටින්නේ තරගකාරීත්වයකට නොවේ. දෙරට අතර පුළුල් සහයෝගිතාවකින් පොදු ජයග්‍රහණයක් අත්කර ගත හැකි ය. ෂී ජින්පිං ජනාධිපතිවරයා එහි දී පැවසුවේ සමානාත්මතාවය මත චීනය හා ඇමරිකාව එකිනෙකාට සැලකිය යුතු බවයි. දෙරටට පොදු අවස්ථා සහ අයිතිවාසිකම් රැසක් හිමිය. දෙපාර්ශ්වයට හවුල්කරුවන් සහ මිතුරන් බවට පත් විය හැකිය. තම තමන්ගේ සාර්ථකත්වය ලඟා කර ගැනීමට අන්‍යෝන්‍ය සහාය හා සහයෝගීතාව හේතු වනු ඇත. එමඟින් පොදු සමෘද්ධිය සාක්ෂාත් කළ හැකි අතර දෙරටට හා සමස්ත ලෝකයට ප්‍රතිලාභ ලබා ගත හැකි බව ජනාධිපති ෂී ජින්පිං මහතා එහි දී පෙන්වා දුන්නේය.

තෙරුම් ගත යුතු දෙය නම් චීනය හා ඇමරිකාව යනු එකම දේශපාලන සංස්කෘතියක් හිමි රටවල් නොවන බවයි. එකිනෙකා අතර තම රටට අනන්‍ය වූ වෙනස්කම් පවතී. එකිනෙකාගේ අභිලාෂයන්ට අන්‍යෝන්‍ය වශයෙන් ගෞරව කළ යුතු අතර ඒ පිළිබඳව අවබෝධ කර ගත යුතුව ඇත. තායිවාන ප්‍රදේශය පිළිබඳ ගැටළුව චීනයේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවය පිළිබඳ කරුණක් වන අතර එය නිසි අයුරින් අවබෝධ කරගන්නා ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා ඇත. දෙරට ආර්ථික හා වෙළඳ සබඳතාවේ හරය අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහ පොදු-ජයග්‍රහණ මිස ගැටුම් ඇති කිරීම නොවන බවත් අවධාරණය කරන චීනය දෙරට අන්‍යෝන්‍ය ගරුත්වය හා සහජීවනයේ රැඳී සිටිමින් පොදු-ජයග්‍රහණය මත පදනම්ව සහයෝගිතාව තවදුරටත් සහතික කිරීමේ අවශ්‍යතාව දන්වා තිබේ. චීන-ඇමරිකා සබඳතාව ස්ථාවර, විධිමත් හා තිරසර දිශානතිය කරා ගමන් කරවීමට මඟපෙන්විය යුතු බව ද චීන ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.

බහුතර දේශපාලන මතය වූයේ දෙරට ජනාධිපතිවරුන් අතර විරසකය මත චීන ඇමරිකා වෙළඳ යුද්ධයක් කරා ඇදී යන බවයි. එහෙත් පසුගිය 17 වැනිදා නායකයින් දෙදෙනා අතර ඇති වූ දුරකථන සාකච්ඡාවෙන් එම අදහස වෙනස් වී තිබේ. ෂී ජින්පිං මහතා සමග පවතින විශිෂ්ට සබඳතාව තමා ඉහළින් වැදගත් කොට සලකන බව ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා එහි දී පවසා ඇත. සංවාදය ඔස්සේ සබඳතා පැවැත්වීමට බලාපොරොත්තු වන ‍ට්‍ර්ම්ප් මහතා හැකි ඉක්මනින් ෂී ජින්පිං මහතා හමු වීමට අපේක්ෂා පළ කර තිබේ. තම රට හා චීනය වර්තමාන ලෝකයේ ප්‍රධානතම රටවල් දෙකක් බවත් දිගුකාලීන සුහදශීලී සබඳතා පැවතිය යුතු බවත් ඔහු පවසා ඇත. පොදු ප්‍රයත්න යටතේ ලෝක සාමය ආරක්ෂා කළ යුතු බවට කරන ලද ඔහු ගේ ප්‍රකාශය නව වසර තුළ වඩාත් ධනාත්මක ප්‍රතිඵල අපේක්ෂා කළ හැකි බව පෙනී යයි.

ලෝකය තනි යායක් බවත් එකිනෙකා මත අන්‍යෝන්‍ය වශයෙන් රැඳී සිටින බවත් ලෝක නායකයින් අවබෝධ කර ගත යුතුව ඇත. එක් එක් රටවල් කෙරේ ඇති අභ්‍යන්තර ප්‍රශ්න කෙරේ මැදිහත් නොවී පොදු ජයග්‍රහණ ලබා ගත හැකි මාවතකට පැමිණිය යුතුය. ඒකපාර්ශ්වික ගමනක් නොමැති බවත් බහුපාර්ශ්වික වශයෙන් සාධාරණ ප්‍රවේශයක් කරා ගමන් කිරීමේත් අවශ්‍යතාව පවතී. එය ඇමරිකානු නව නායකත්වය අවබෝධ කර ගෙන සිටී නම් මේ එළැඹ ඇත්තේ දශක ගණනාවකට පසු ලෝක ආර්ථිකයට නව බලාපොරොත්තුවකි. දෙරට රාජ්‍ය නායකයින් මුහුණට මුහුණ හමු වී නොබෝ දිනකින් ගෝලීය සාමය, සෞභාග්‍යය සහ තිරසරභාවය සඳහා ඇති අවස්ථා කෙරෙහි බලපාන තීරණ සමග නව සබඳතා ශක්තිමත් කර ගෝලීය පුනර්ජීවනයට මඟපාදනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

නිතිඥ සංඛ ප්‍රබුද්ධ

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *