
ගෙවුණු සිව් වසරක කාල පරිච්ඡේදය ගෝලීය ආර්ථිකය පහතට ගලා යාමේ ක්‍රියාවලියෙන් මිදීමට සංවර්ධිත රටවල් ක්‍රියාමාර්ගයන් ගත් බවක් පෙනෙන්නට නැත. ආර්ථිකය සංවර්ධනය කිරීම පසෙක ලා දියුණු යැයි සම්මත රටවල් යුද වැදීමට අනුබල දීම හා යුද ආදායම් ශක්තිමත් කිරීමේ ආයුධ වෙළඳාමක නිරත වෙමින් සිටින බවක් දක්නට ලැබේ. තිරසර සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ ඉහළ පෙළේ දේශපාලන සංසදයේ අමාත්‍ය මණ්ඩල සමුළුව නිව්යෝක් නුවර දී පසුගිය දිනෙක ආරම්භ වුව ද ඉදිරි වසර කීපයක සංවර්ධන සැලැස්මට අදාළ සාර්ථක පියවරක් ඔසවනු එහි දී දක්නට නොලැබිණ. තිරසර සංවර්ධන ඉලක්ක ක්‍රියාවට නැංවීමේ ගෝලීය ප්‍රගතිය අපේක්ෂිත තත්ත්වයට වඩා බෙහෙවින් අඩු මට්ටමක පවතින බව එහිදී පැහැදිලි විය. ජාත්‍යන්තර ප්‍රජාව බහුපාර්ශ්විකත්වය සහතික කරමින්, සහයෝගිතා ශක්තිමත් කළ යුතු බවට චීන පාර්ශ්වයෙන් එම සමුළුවට යෝජනා කර තිබිණ. ආර්ථික අවපාතයන් හා උද්ධමනයන් හමුවේ පමණක් නොව යුද්ධය ද ආර්ථික සහ මානව විනාශයට ප්‍රබල හේතුවක් වී ඇති වකවානුවක චීනය සිය අනාගත ආර්ථික දැක්ම චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාවේ 3 වැනි පූර්ණ සැසිය ආරම්භ කරමින් පසුගිය දා ඉදිරිපත් කරනු දක්නට ලැබිණ.

ෂී ජින් පිං ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ එම සැසියේ මූලික අරමුණ බවට පත් වූයේ 2035 වර්ෂය වන විට උසස් ප්‍රමිතියෙන් යුත් සමාජවාදී වෙළෙඳපොළ ආර්ථිකයක් ගොඩනැගීමේ ගමන් මග පිළිබඳ සැලසුම් සටහන නිර්මාණය කිරීම බව වාර්තා විය. ඒ අනුව, චීනයේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය මධ්‍යස්ථ සංවර්ධිත ආර්ථිකයක මට්ටමට ගෙන එමින් මෙම සියවසේ මැද භාගය වන විට සෑම අංශයකින්ම ශක්තිමත් නවීන සමාජවාදී රටක් ගොඩනැගීමට පදනම සැකසීමට මින් අපේක්ෂා කරන බවට එහි දී ප්‍රකාශ කෙරිණ. උසස් තත්ත්වයේ සංවර්ධනයක් අත්පත් කර ගැනීමේ දී මුහුණ දීමට සිදු වන අභියෝග වර්තමානයේ සුළු පටු නොවේ. වේගයෙන් වෙනස් වන භූ දේශපාලනික තත්ත්වයන් හමුවේ එම සංකීර්ණ ගැටළු හා අවදානම් අවම කර ගනිමින් සෘජු පැහැදිලි නායකත්වයකින් යුතුව සැලසුම් සහගතව මාර්ගෝපදේශ ලබා දීමට චීනයේ මැදිහත් වීම වැදගත් සාධකයක් වනු ඇත. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා චීන නවීකරණය තවදුරටත් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ කාරක වාර්තාව ඉදිරිපත් කරමින් ගෝලීය කර්මාන්ත සහ සැපයුම් දාමයේ ස්ථායීතාව වෙනුවෙන් චීනය ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරමින් සිටින බව පැවසීය. එය ගෝලීය ආර්ථික ස්ථායීතාවට ශක්තිමත් පදනමක් වන අතර ගෝලීය තිරසර සංවර්ධනයක් උදෙසා ප්‍රබල අඩිතාලමක් වනු ඇත.

ලෝක සාමය සහ ස්ථාවරත්වය සඳහා ප්‍රබල ආරක්ෂකයෙකු ලෙස ද චීනය සිය කාර්යභාරය ඉටු කරයි. චීනය මෙවන් දැක්මක් සමග ඉදිරිය වෙනුවෙන් කටයුතු කරන විට සංවර්ධිත රටවල් සිය දායකත්වය නිසි ලෙස ලබා දිය යුතුය. කාබන් විමෝචනය සැලකිය යුතු ලෙස අඩු කිරීමටත් කාබන් උදාසීනත්වය කෙරෙහි අවධානය යොමු කොට දේශගුණික විපර්යාස පිරිවැය දැරීම් ඇතුළු තම වගකීම් ඉටු කිරීමටත් අවංකව පෙරමුණ ගත යුතු ය. සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථික හා සමාජයීය සංවර්ධනයට බාධා කරන ඒකපාර්ශ්වික බලහත්කාර ක්‍රියාමාර්ගවලට මෙන්ම දේශගුණික විපර්යාස විසඳුම් මුවාවෙන් ක්‍රියාත්මක ආරක්ෂණවාදයට සහ හරිත වෙළඳාමට එරෙහිව නැඟී සිටීමට චීනය සමග එක් වීමට සෙසු රටවල අවංක දායකත්වය වැදගත් වේ.
චීනයට පමණක් තනිව ගමනක් යා නොහැක. ලෝක සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කරමින් සැබෑ කාර්ය භාරයක් ඉටු කිරීමට සංවර්ධිත රටවල දායකත්වය වැදගත් සාධකයක් වනු ඇත. චීනය මේ වන විට සිය ඉදිරි සැලසුම් සම්පාදනය කර තිබේ. මෙවර චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ ප්‍රධාන රැස්වීමේ දී ඉදිරිපත් කෙරුණු අනාගත දැක්ම, අංගසම්පූර්ණ ප්‍රතිසංස්කරණය ගැඹුරු කරමින් චීන ලක්ෂණයන්ගෙන් යුත් නවීකරණය ප්‍රවර්ධනය කිරීමේ මූලික ගාමක බලවේගය චීනයේ පමණක් නොව සමස්ත ලෝකයේම සංවර්ධනයට වඩාත් නිශ්චිතභාවයක් එක් කරනු අතැයි විශ්වාස කළ හැකිය. එම නිසා භේදයකින් තොරව ඒ ඒ රටවල්වල පවතින සාධනීය සාරය ගෙන ඉදිරි ජයග්‍රහණ අත් කර ගැනීමට සියළු රටවල් ඒකරාශී වීම වර්තමානයේ එළැඹිය යුතු වැදගත් අරමුණක් විය යුතුය.
නීතිඥ සංඛ ප්‍රබුද්ධ
