චීනය හා ඇමරිකාව හවුල්කරුවන් මිස, ප්‍රතිවිරෝධීන් නොවිය යුතුය–චීන ජනපති

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඊයේ(26) පස්වරුවේ බෙයිජිංහි මහජන මහා ශාලාවේදී ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් මහතා හමු ‍විය. 

මේ වසර චීන ඇමරිකා රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවය පිහිටුවීමේ 45වැනි සංවත්සරය සනිටුහන් කරයි. දෙරට හවුල්කරුවන් මිස, ප්‍රතිවිරෝධීන් නොවිය යුතුය. එකිනෙකාට සහාය විය යුතු මෙන්ම අන්‍යෝන්‍ය වශයෙන් හානි සිදු නොකළ යුතුය. පොදු අදහස් හඹා යමින් මතභේද පාලනය කළ යුතු අතර විෂම තරගය දියත් නොකළ යුතුය. මතුපිටින් පොරොන්දු දී ප්‍රායෝගික වශයෙන් ක්‍රියාත්මක නොකිරීම ද නුසුදුසුය. ඒ සියල්ලම ගෙවී ගිය වසර 45ක ආශ්‍රයෙන් දෙරට ඉගෙන ගත් පාඩම් ලෙස සැලකිය හැකිය. අන්‍යෝන්‍ය ගරුත්වය , සාමකාමී යහපැවැත්ම, සහයෝගතාවෙන් පොදු ජයග්‍රහණ දිනා ගැනීම යන මූලධර්ම තුන තමා ඉදිරිපත් කළේ ඒ හේතුවෙන් බව ද ෂී ජින්පිං මහතා විග්‍රහ කර ඇත.

දැනට ලෝකය දැවැන්ත විපර්යාසයක පසු වෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වේ. සංවාද පවත්වමින් මතභේද පාලනය කිරීම හා සහයෝගතා පුළුල් කිරීම, දෙරටේ ජනතාවගේ පොදු කැමැත්තක් වන අතර එය ජගත් ප්‍රජාවේ පොදු අ‍පේක්ෂාවට ද අනුකූලය. ස්වයං විශ්වාසී, විවෘත, සමෘද්ධිමත් හා ඉදිරියට යන ඇමරිකාවක් දැකීම චීනයේ සතුටකි. එසේම ඇමරිකාවට චීනයේ සංවර්ධනය කෙරේ ධනාත්මක හා සක්‍රිය ආකල්පයක් දැරීම චීනයේ බලාපොරොත්තුවකි.

පසුගිය වසරේ බයිඩන් ජනාධිපතිවරයා සැන් ෆ්‍රැන්සිස්කෝ හිදී හමු වී අනාගතය දෙස ‘සැන් ‍ෆ්‍රැන්සිස්කෝ දැක්මක්’ විවර කර ඇතැයි ෂී ජින්පිං මහතා සිහිපත් කළේය. ගෙවී ගිය මාස කිහිපයක් තුළදී දෙපාර්ශ්වය එම හමුවේදී පැමිණි එකඟතාවන් ක්‍රියාත්මක කරමින් විවිධ ක්ෂේත්‍රවල අදහස් හුවමාරු පවත්වා ඇති අතර ඇතැම් ප්‍රගතීන් දිනා ගැනීමට සමත් වී ඇත. එනමුත් විසඳීමට අවශ්‍ය ඇතැම් ගැටළු  තවමත් පවතී. මෙවර ඇන්තනි බ්ලින්කන් මහතාගේ සංචාරය අර්ථවත් වැදගත්කමක් හිමි එකක් වනු ඇතැයි අපේක්ෂා කරන බව ද ෂී ජින්පිං ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

වත්මන් ලෝකයේ පවතින සංකීර්ණ අභියෝගයන් රැසකට මුහුණ දීමේදී ඇමරිකාව හා චීනය එක්ව සහයෝගතා පැවැත්වීමේ අවශ්‍යතාව මතු වූ බව ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් මහතා එහිදී පැවසීය. ‘නව සීතල යුද්ධය’දියත් කිරීමට ඇමරිකාවට කැමැත්තක් නොමැත. චීනයේ දේශපාලන ක්‍රමය වෙනස් කිරීමටත් චීනයේ සංවර්ධනය මර්දනය කිරීමටත් ඇමරිකාව උත්සාහ නොකරයි. එමෙන්ම සන්ධාන සම්බන්ධතාවයන් හරහා චීනයට විරුද්ධව ක්‍රියා කිරීම හෝ චීනය සමග ගැටුම් ඇති කරගැනීම ඇමරිකාවේ කැමැත්තක් නොවේ. ඇමරිකාව එකම චීනය ප්‍රතිපත්තියෙහි එල්බ සිටියි. චීනය සමග අදහස් හුවමාරු පවත්වා ගෙන යමින් දෙරටේ නායකයින් සැන් ෆ්‍රැන්සිස්කෝහි පැමිණි එකඟතාවන් ප්‍රායෝගිකව ක්‍රියාවට නංවාලීමෙහි ඇමරිකාව නිරත ව සිටියි. ‍එමෙන්ම ඇමරිකා චීන සම්බන්ධතාවයේ විධිමත් හා ස්ථාවර වර්ධනය ඉදිරියට ගෙන යාම සඳහා අනවබෝධය හා වැරදි වැටහාගැනීම් වළක්වමින් වගකීමෙන් යුතුව මතභේද පාලනය කරනු ඇතැයි ද ඔහු ප්‍රකාශ කර ඇත.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *