ඕනෑම රටක පාලකයන්ගේ ක්‍රියාපටිපාටිය සහ ජනතාවගේ ආකල්ප සඳහා එම රටේ ශිෂ්ටාචාරයේ පැවැත්ම සහ එහි ඉගැන්වීම් මත පිහිටීම දැඩි බලපෑමක් ඇති කරයි. සැබෑ ශිෂ්ටාචාරයක් නොමැති රටවල වර්තමාන ස්වභාවය සහ එවැනි පදනමක පිහිටි රටක ස්වභාවය අතර විශාල වෙනසක් දැක ගත හැකිය. ඒ සඳහා අවධානය යොමු කළ හැකි වීඩියෝ මාලාවක් සහ එහි අන්තර්ගතය ගැන විමසා බැලීමට අදහස් කළෙමි.
සම්භාව්‍ය චීන ශිෂ්ටාචාරය එහි උරුමයේ වැදගත් වාහකයක් වන අතර අද චීනය තේරුම් ගැනීමට යතුරකි. කථාංග පහකින් සමන්විත “Classics of Chinese Thought” – “චීන සම්භාව්‍ය චින්තනය” වැඩසටහන් මාලාවෙන් චීන ශිෂ්ටාචාරයේ සාක්ෂිකරුවන්, උරුමකරුවන් සහ චින්තකයින් සමඟ අන්තර් ක්‍රියා කරන සහ චීන ශිෂ්ටාචාරයේ අඛණ්ඩතාව, නවෝත්පාදනය, එකමුතුකම, ඇතුළත් කිරීම සහ සාමකාමී බව විස්තර කෙරෙන සංස්කෘතික ගමනක් පිළිබඳව අවබෝධයක් ලබා ගත හැකිය. චීනයේ වර්තමානය, චීන පාලනය සහ ජනතාවගේ ජීවිතය පිළිබඳ සැබෑ අඩිතාලම වැටී ඇත්තේ කෙසේ දැයි ඔබට මෙම වැඩසටහන් හරහා පසක් වනු ඇත.
01. චීනයේ ෂැන්දොං පළාතේ “චුෆු හි කොන්ෆියුසියස් විහාරය”

චීන ශිෂ්ටාචාරයට වසර 5,000 කටත් වඩා පැරණි අතීතයක් තිබේ. වර්තමාන චීන ජනතාවගේ, චින්තනයට, හැසිරීමට කොන්ෆියුසියස් දර්ශනයේ ඉගැන්වීම් ගැඹුරින් බලපා තිබෙන බව පෙනෙන්න ඇත. සැබෑ චීනය අවබෝධ කර ගැනීමේ පළමු පියවර නම් චීන ශිෂ්ටාචාරයේ අඛණ්ඩතාව අවබෝධ කර ගැනීමයි. සමකාලීන චීනය යනු එහි අතීතයෙන් අඛන්ඩව පැවත එන සංවර්ධනයක් බව මෙම “චුෆු හි කොන්ෆියුසියස් විහාරය” නැමැති වැඩසටහනෙන් පැහැදිලි කර තිබේ. ගුණාත්මකව රට පාලනය කිරීම සහ නොනවතින ලෙස ස්වයං දියුණුව ලුහුබැඳීම සඳහා මෙම කොන්ෆියුසියස් දහම චීන ජනතාව තුළ විශාල බලපෑමක් ඇති කර ඇති බව “චුෆු හි කොන්ෆියුසියස් විහාරය” නැමැති වැඩසටහනින් වටහා ගත හැකිය. කොන්ෆියුසියස්ගෙන් පැවත එන 76 වන පරම්පරාවට අයත්, චීනයේ මාක්ස්වාදය පිළිබඳ මින්සු විශ්ව විද්‍යාලයීය පාසලේ පීඨාධිපතිවරයා වන මහාචාර්ය Kong Xinfeng මහතා සමග කෙරෙන චීනය සොයා යන ගවේශකයාගේ සම්මුඛ සාකච්ඡාව චීන ශීෂ්ටාචාරයේ අඛණ්ඩතාව වර්තමාන චීනයේ පැවැත්ම බව හොඳින් පැහැදිලි කර ඇත. පැරණි දේ තුළින් සංවර්ධනය, අධ්‍යාපනය සහ සදාචාරය ගොඩනැගීම, සිරිත් විරිත් සහ දේශපාලනය එකිනෙක අතර ඉතා ශක්තිමත් සබඳතාවක් තිබෙන බව මෙම ගවේෂණාත්මක වැඩසටහනින් පිළිබිඹු වේ.
රටක අනන්‍යතාව එහි ශිෂ්ටාචාරයෙන් ගම්‍ය වේ. චීනය ගෝලීය එකමුතු බව සහ සහජීවනය කෙරේ යොමු වීමත් චීන ජන ජීවිතයේ සමෘද්ධියත් එහි ශිෂ්ටාචාරයෙන් පිළිබිඹු වන බව මෙම වැඩසටහන සාක්ෂි සපයා ඇත.
02. චීන සම්භාව්‍ය චින්තනය: චීන ශිෂ්ටාචාරයේ නවෝත්පාදනය
https://news.cgtn.com/news/2023-12-15/Classics-of-Chinese-Thought-The-Innovation-of-Chinese-Civilization-1pyvMEjL5ny/p.htmlhttps://news.cgtn.com/news/2023-12-15/Classics-of-Chinese-Thought-The-Innovation-of-Chinese-Civilization-1pyvMEjL5ny/p.html

රටක සංවර්ධනය සහ සමෘද්ධිය සාක්ෂාත් වීමට නම් ශිෂ්ටාචාරයේ පදනම මෙන්ම නවීකරණය වෙත යොමු වීම වැදගත් සාධකයකි. නව නිපැයුම් යනු රටක නූතනත්ව දිශාවේ ප්‍රතිමූර්තිය වනු ඇත. චීනයේ නූතන සංවර්ධන මාවතට චීන ශිෂ්ටාචාරයේ නවෝත්පාදනයේ බලපෑම කෙබඳුද?
චීනය නව නිපැයුම් ඔස්සේ ලොවට නවීනත්වය දායාද කොට තිබේ. රටක් නව නිපැයුම් මත පිහිටා සමෘද්ධිමත් දේශයක් කරා පිය නැඟීම වැදගත් වන්නේ මන්දැයි චීන සම්භාව්‍ය චින්තනය වැඩසටහනේ දෙවැන්න, චීන ශිෂ්ටාචාරයේ නවෝත්පාදනය ඔස්සේ පැහැදිලි කර ඇත. චීන ශිෂ්ටාචාරයේ අඛණ්ඩ නව්‍ය වර්ධනය පිටුපස ඇති හේතු සාධක ගවේෂණය කරමින්, මාධ්‍ය නිර්මාතෘවරයෙකු වන Yu Pun Hoi මහතා සමඟ, නැගෙනහිර චීනයේ Guangdong පළාතේ Guangzhou හි නවෝත්පාදන නගරයේ සිට ඒ පිළිබඳව මෙම වැඩසටහනින් විමසා බලයි.
බටහිර රටවල් වර්තමානයේ මුහුණ දී ඇති රාජ්‍ය පාලනයේ ගැටළු, විරැකියාව, මූල්‍ය අර්බුද මෙන්ම බලය හා ජන ජීවිතය සම්බන්ධයෙන් පවතින ප්‍රධාන ගැටළුව නම් රාජ්‍ය පාලනය කෙරෙහි යල් පැන ගිය ක්‍රමය තවමත් අනුගමනය කිරීම බව පෙනෙන්නට තිබේ. තමන්ගේ අදහස ප්‍රමුඛ අදහස යැයි නොසිතා කටයුතු කරන්නේ නම් බොහෝ රටවල ප්‍රශ්න සඳහා විසදුම් සොයා ගැනීම අපහසු නොවේ.
වර්තමානයේ බටහිර රටවල් චීනයේ ස්වාධිපත්‍ය පිළිබඳව ප්‍රශ්න කරමින් චීනයේ අභ්‍යන්තර කටයුතු කෙරෙහි අතපෙවීම් සිදු කරයි. නමුත් චීන රාජ්‍ය පාලනයේ නූතනත්වය තුළ චීන අනන්‍යතාවෙන් යුත් රාජ්‍ය පාලනය ද සුවිශේෂ ආරම්භයක් ලබා දී ඇත. චීන මහජන කොංග්‍රසය යෝජනා කළ එක් රටක් පද්ධති දෙකක් යන්න ලෝකයේ ප්‍රථම වරට ක්‍රියාත්මක කරන ලද දේශපාලන යාන්ත්‍රණයකි.
අද ලෝකය නිරන්තර ප්‍රතිසංස්කරණවලට භාජනය වෙමින් පවතින අතර චීනය මෙම ප්‍රවණතාවයේ ඉදිරියෙන්ම සිටී. ඉහත සාකච්ඡා කළ පරිදි, නවෝත්පාදනය සැමවිටම ශිෂ්ටාචාරයේ ප්‍රගතිය සඳහා පූර්ව අවශ්‍යතාවයක් වන අතර ලෝකයේ ප්‍රගතිය සඳහා ගාමක බලවේගයක් බව චීන සම්භාව්‍ය චින්තනය දෙවන වැඩසටහනින් මනාව පැහැදිලි වේ.
03. චීන සම්භාව්‍ය චින්තනය: චීන ශිෂ්ටාචාරයේ එකමුතුව
https://news.cgtn.com/news/2023-12-23/Classics-of-Chinese-Thought-The-Unity-of-Chinese-Civilization-1pLhck6KfV6/p.htmlhttps://news.cgtn.com/news/2023-12-23/Classics-of-Chinese-Thought-The-Unity-of-Chinese-Civilization-1pLhck6KfV6/p.htmlhttps://news.cgtn.com/news/2023-12-23/Classics-of-Chinese-Thought-The-Unity-of-Chinese-Civilization-1pLhck6KfV6/p.html

මානව ශිෂ්ටාචාරයේ දීර්ඝ කාල පර්ච්ඡේදය තුළ, ලෝකයේ විවිධ ප්‍රදේශවල මිනිසුන් විසින් දීප්තිමත් ශිෂ්ටාචාරයන් වර්ධනය කර තිබේ. එහෙත් මානව වර්ගයාගේ පැරණි ඉතිහාසය තුළ දීර්ඝ කාලීන සමගිය පවත්වා ගත හැකි චීනය තරම් විශාල රටක් අතිශයින් දුර්ලභ බව පිළිගත යුතුය. චීන ශිෂ්ටාචාරය අඛණ්ඩව පැවතුණා පමණක් නොව, ඉහළ මට්ටමේ එකමුතුවක් පවත්වා ගෙන යාමට හේතුව මෙම ගවේෂණාත්මක වැඩසටහනින් පැහැදිලි කර ඇත. චීන ශිෂ්ටාචාරයේ එකමුතුවේ අතීතය සහ වර්තමානයේ බොහෝ දේ තැම්පත්ව ඇති බව චීන ජාතික ප්‍රකාශන හා සංස්කෘතික ලේඛනාගාරයේ මූලස්ථානයේ සිට Fudan විශ්වවිද්‍යාලයේ චීනයේ ප්‍රසිද්ධ දේශපාලන විද්‍යාඥයෙකු වන Zhang Weiweideen මහතා සමග ගවේශකයා තොරතුරු සොයා සාකච්ඡා පවත්වා තිබේ.
චීන ජනතාව වසර දහස් ගණනක් එකම ශිෂ්ටාචාරයක ජීවත් වූ පිරිසකි. ඔවුන් ඒකීය චීන ශිෂ්ටාචාරයක් ගොඩනගා ඇත්තේ විනාශ කළ නොහැකි ශක්තිමත් ජාතියක එකමුතුවෙනි. චීනය බොහෝ යුද්ධවලින් පීඩා විඳි විශාල රටවල් කිහිපයෙන් එකක් ලෙස සැලකිය හැකිය. අසමගි වූ සෑම තැනකම බොහෝ යුද්ධ හා ලේ වැගිරීම් වලින් බිඳී ගොස් තිබේ. එබැවින් සමගිය සැමවිටම සාමය සමඟ සම්බන්ධ වන බවත් සමගිය සංවර්ධන මාවතේ සමෘද්ධිය බවත් චීනය ඉතිහාසයෙන් සනාථ කොට ඇත. අතීතයේ චීනය වෙත වෙළඳාම ඇතුළු විවිධ කාර්යයන් සඳහා චීනය වෙත විවිධ සංස්කෘතීන් නියෝජනය කරමින් පැමිණි විවිධ ජාතීන්, විවිධ ආගම් අදහන්නන් ස්ව අනන්‍යතාවෙන් චීනය තුල සමගියෙන් ජීවත් වී ඇත. චීනයේ ඉතිහාසයෙන් සියලු ජාතිකයන් ඒකාබද්ධව සමගිය නිර්මාණය කර ඇති අතර, වර්ධනය කරන සහ තහවුරු කරන ලද විශිෂ්ඨ ඉතිහාසයකට ඔවුහු හිමිකම් කියති. මේ නිසා එකමුතුකම චීන ජානයේ කොටසක් බවට පත්වේ. සංස්කෘතියේ සහ ජාතිකත්වයේ එකමුතුකම ජාතික සමගියේ පදනම වී ඇත. රටේ එකමුතුකම සංස්කෘතියේ එකමුතුකම තවදුරටත් ප්‍රවර්ධනය කර ඇති අතර චීන ශිෂ්ටාචාරයේ කැපී පෙනෙන එකමුතු බව චීන රාජ්‍ය වඩාත් ශක්තිමත් කර ඇති බව මෙම වැඩසටහන මනා ලෙස මානව වර්ගයාට අවබෝධ කර දේ.
04. චීන සම්භාව්‍ය චින්තනය: චීන ශිෂ්ටාචාරයේ ඇතුළත් බව

වර්තමාන ලෝකයේ විවිධ සංස්කෘතීන් අතර හුවමාරුව ප්‍රවර්ධනය කරන්නේ කෙසේද, විවිධ ශිෂ්ටාචාරවල බලවේග සමගි සම්පන්න සහ බහුත්වවාදී ලෝකයක් ගොඩනැගීමේ අවසානය කරා යොමු කරන්නේ කෙසේද වැනි බොහෝ අභියෝගවලට අපි මුහුණ දී සිටිමු. “විවිධත්වයේ සමගිය” පිළිබඳ චීන ප්‍රඥාව මානව ශිෂ්ටාචාරවල ප්‍රගතිය ඉදිරියට ගෙන යාමට විවෘත හා ඇතුළත් ලෝකයක් ගොඩනැගීමට අවශ්‍ය මාවත පෙන්වා දී ඇත. “Classics of Chinese Thought” “චීන සම්භාව්‍ය චින්තනය” නැමැති වැඩසටහන් මාලාවේ තවත් පියවරක් ඔස්සේ “සංහිඳියාව සියලු දේ ඇති කරන බවත්, නමුත් සියල්ල එකම සහ හුදෙක් ඒකාකාරී වේ නම්, එය මිය යනු ඇත” යන සංකල්පය වඩාත් පැහැදිලි කර තිබේ. තරුණ විශාරද Xiang Shuchen මහත්මිය සමග ඓතිහාසික Xi’an නගරය වන පුරාණ සේද මාවතේ ආරම්භක ස්ථානයෙන් මේ කතා සංකල්පය ආරම්භ කරයි.
සේද මාවත ක්‍රිස්තු පූර්ව 200 දී පමණ ආරම්භ වී වසර දහසකට වැඩි කාලයක් පැවතුනි. එම සේද මාවතේ විවිධ දේ හුවමාරු විය, භාණ්ඩ පමණක් නොව, විවිධ සංස්කෘතීන් සහ ආගමික විශ්වාසයන් ද හුවමාරු වී ඇත. චීන ඉතිහාසය තුළ සියලු වෙනස්කම්, විවිධ සංස්කෘතීන් වැලඳගෙන සිටිය හැකි ලක්ෂණය දැක ගත හැකිය.
වසර 2013 දී එක් තීරයක් එක් මාවතක් ව්‍යාපෘතිය මුලපිරීම සමඟින් ආරම්භ කිරීමට චීනය උත්සාහ කර ඇත. එම ව්‍යාපෘතිය ආර්ථික අර්ථයෙන් ඉදිරිපත් කරන ලද නමුත් විවිධ රටවල් අතර මෙම පුළුල් ආර්ථික සහයෝගීතාවයේ ප්‍රතිඵලයක් ලෙස සංස්කෘතික අන්තර්ක්‍රියා ඇති කළ බව තර්කානුකූලව පසක් කර තිබේ. එය සැබවින්ම උත්සාහ කළේ විවිධ ස්ථාන සහ මිනිසුන් හවුල්කාරිත්වයකට යොමු කොට විශාල සංවර්ධනයක් ඇති කිරීමටයි. එය එක් අතකින් පුරාණ සේද මාවතේ අඛණ්ඩ පැවැත්මකි. එය නව සේද මාවත ලෙස හඳුන්වන්ට හැකිය. විවිධ රටවලට විවිධ ජාතික තත්ත්වයන් ඇත, විවිධ සමාජ, ආර්ථික හා සංස්කෘතික සන්දර්භයන් යටතේ ක්‍රියාත්මක වන අතර විවිධ දේශපාලන ක්‍රම අනුගමනය කරයි. එක් තීරයක් එක් මාවතක් මුලපිරීම සම්ප්‍රදායික චීන සංස්කෘතියේ ශක්තිමත් පදනමක් ඇති අන්තර්ග්‍රහණය සහ අන්‍යෝන්‍ය ඉගෙනීම ඉස්මතු කිරීමට චීන සම්භාව්‍ය අදහස් භාවිතා කර ඇති බව මෙම වාර්තා වැඩසටහන ඉතා සංයමයෙන් අපිට ගෙන හැර දක්වයි.
05. චීන සම්භාව්‍ය චින්තනය: චීන ශිෂ්ටාචාරයේ සාමකාමී බව
Chinese-civilization-1qjdOrzBBMAhttps://news.cgtn.com/news/2024-01-12/Classics-of-Chinese-Thought-The-peacefulness-of-Chinese-civilization-1qjdOrzBBMA/p.htmlhttps://news.cgtn.com/news/2024-01-12/Classics-of-Chinese-Thought-The-peacefulness-of-Chinese-civilization-1qjdOrzBBMA/p.html

චීන ශිෂ්ටාචාරය සාමය, මිත්‍රත්වය සහ සහජීවනය වෙනුවෙන් පෙනී සිටීම පිටුපස ඇති හේතු මොනවාද? සාමය අගයන සෞභාග්‍යමත් ලෝකයක් ගොඩනැගීමේදී මනුෂ්‍යත්වය භාරගත යුතු වගකීම් මොනවාද? “Classics of Chinese Thought” මාලාවේ පස්වන කථාංගයේ, ගවේෂකයා සුන්දරත්වයේ සහ අලංකාරයේ නගරයක් වන Hangzhou වෙත පැමිණ, Fudan විශ්වවිද්‍යාලයේ මහාචාර්ය Bai Tongdong මහතා සමඟ චීන ශිෂ්ටාචාරයේ සාමකාමී ස්වභාවය සාකච්ඡා කර ඇත.
චීන ශිෂ්ටාචාරය අවධාරණය කරන එක් වැදගත් කරුණක් වන්නේ හමුදාමය ගුණධර්මවලට වඩා සාමකාමී ගුණධර්ම පිළිබඳ ප්‍රමුඛතාවයි. බුදුදහම චීන සංස්කෘතිය පොහොසත් කළ ආකාරයටම විවිධ ශිෂ්ටාචාරවලට එකිනෙකා පොහොසත් කළ හැක්කේ සාමකාමීව මිස මාරාන්තික ගැටුම්වලින් නොවන බව මෙහි විමසීමට බඳුන් කර තිබේ. වඩාත් සුහද ලෝකයක් ඇති කර ගැනීම සඳහා අන් පුද්ගලයින්ගෙන් ඉගෙන ගැනීමට සහ වෙනත් විවෘත වෙළඳපල බෙදා ගැනීමට සිදු වේ. එක් තීරයක් එක් මාවතක් ආරම්භ කිරීම, දියුණු වෙමින් පවතින රටවලට මූලික භාණ්ඩ ලබා ගැනීමට උපකාර කිරීම සඳහා ගෝලීය යටිතල පහසුකම් ගොඩනැගීමේ උත්සාහයකි. මෙම ගෝලීය වෙළඳාමෙන් හොඳ ප්‍රතිලාභ ලබා ගැනීමට හැකි වී තිබේ. සාමය සහ සංවර්ධනය ලෝකයේ සියලුම රටවල පොදු අපේක්ෂාව බව චීනය මේ ඔස්සේ තහවුරු කර ඇත.
වර්තමානයේ චීනය ලෝකයේ වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. එක් තීරයක් සහ එක් මාවතක් මුලපිරුම, ගෝලීය සංවර්ධන මුලපිරුම, ගෝලීය ආරක්ෂක මුලපිරුම සහ ගෝලීය ශිෂ්ටාචාර මුලපිරුම, සාමකාමී වගකීමේ හැඟීමකින් අභිප්‍රේරණය කරන ලද චීනයේ ප්‍රයත්නයන් ලෙස හැඳින්විය හැකිය.
කථාංග පහකින් සමන්විත “Classics of Chinese Thought” – “චීන සම්භාව්‍ය චින්තනය” වැඩසටහන් මාලාවෙන් චීන ශිෂ්ටාචාරයේ සාක්ෂිකරුවන්, උරුමකරුවන් සහ චින්තකයින් සමඟ කරන ලද සාකච්ඡා ඔස්සේ චීන ශිෂ්ටාචාරයේ අඛණ්ඩතාව, නවෝත්පාදනය, එකමුතුකම, ඇතුළත් කිරීම සහ සාමකාමී බව පිළිබඳව මනා අවබෝධයක් ළඟා කර ගත හැකි බව ඔබට පසක් වනු ඇත. වර්තමාන චීනය විනිවිද දකින් සැබෑව මේ ශිෂ්ටාචාර මතින් කෙරෙන සංස්කෘතික වේදිකාව තුළ ගම්‍ය වන බව වෙසෙසින්ම කිව යුතුව තිබේ.
නීතිඥ සංඛ ප්‍රබුද්ධ
