රටේ ආර්ථිකයට දැවැන්ත ශක්තියක් එක් කරමින් අමෙරිකානු ඩොලර් බිලියන 3. 7ක ආයෝජනයක් යටතේ ක්‍රියාත්මක කිරීමට යෝජිත හම්බන්තොට නව තෙල් පිරිපහදුව කඩිනමින් ආරම්භ කරන බවට සයිනොපෙක් සමාගම පොරොන්දු වී තිබේ. අමෙරිකානු ඩොලර් බිලියන 3.7ක ආයෝජනයකින් හම්බන්තොට ප්‍රදේශයේ ආරම්භ කිරීමට නියමිත නව තෙල් පිරිපහදු ව්‍යාපෘතියේ ප්‍රගතිය සහ ව්‍යාපෘතිය පිළිබඳ නොවිසඳුනු ගැටලු සාකච්ඡා කිරීමට චීනයේ සයිනොපෙක් සමාගමේ උප සභාපති ලුයූ ලියැන්ගොං මහතා ඇතුළු දස දෙනෙකුගෙන් යුතු නියෝජිත කණ්ඩායමක් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත් මහතා අමාත්‍යංශයේදී මුණගැසුණි.
මේ ව්‍යාපෘතිය ආරම්භ කිරීම සම්බන්ධයෙන් වසර ගණනාවක් පුරා පැවැති ගැටලුවලින් විශාල ප්‍රමාණයක් විසඳීමට ඇමැතිවරයා දුන් සහයෝගය සයිනොපෙක් සමාගමේ උප සභාපතිවරයා අගය කළේය. ඒ අනුව දිනකට බැරල් ලක්ෂ 02ක් දක්වා නිෂ්පාදනය කිරීම සඳහා වන මේ ව්‍යාපෘති ගිවිසුම ඉකුත් ජනවාරි මස අත්සන් කිරීමට හැකි වූ බව ඒ මහතා පෙන්වා දුන්නේය. මීට අමතරව ව්‍යාපෘතිය ඇරඹීම සම්බන්ධයෙන් බලපා ඇති තවත් ගැටලු කිහිපයක් පිළිබඳව ලියැන්ගොන් මහතා විදේශ ඇමැතිවරයා වෙත ඉදිරිපත් කළේය.
මේ ව්‍යාපෘතිය රටවල් දෙකටම වැදගත් වන ව්‍යාපෘතියක් වන හෙයින් එම ගැටලු ඉතා ඉක්මණින් විසඳීමට මැදිහත් වන ලෙස ද ලියැංගොං මහතා විජිත හේරත් ඇමැතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය. ශ්‍රී ලංකාව සහ එහි ආර්ථිකයට විදේශ ආයෝජනවලින් සිදුවන ධනාත්මක බලපෑම හේතුවෙන් මේ ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට පවතින ගැටලු ඉතා ඉක්මනින් විසඳීමට තමා මැදිහත් වන බවට විජිත හේරත් මහතා එකඟතාව පළ කළේය.
ඒ අනුව ප්‍රමාදයකින් තොරව ව්‍යාපෘතිය ආරම්භ කිරීමට දෙපාර්ශ්වය එකඟතාවක් ඇති කරගත්තේය. මේ දූත පිරිස බලශක්ති අමාත්‍යාංශය, ආයෝජන මණ්ඩලය සහ අනෙකුත් සම්බන්ධිත ආයතන සමඟ ද සාකච්ඡා කිහිපයක් සිදු කිරීමට නියමිතය.
