චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අද (31) සවස දකුණු කොරියාවේ Gyeongju හි පැවති එපෙක් සංවිධානයේ කාර්මික හා වාණිජ නායකයින්ගේ ප්‍රධාන විධායක සමුළුවේදී ලිඛිත දේශනයක් සිදු කළේය. ‘ලෝකයේ සංවර්ධනය හා සමෘද්ධිය උදෙසා ආසියා-පැසිෆික් කලාපයේ මඟපෙන්වීමේ කාර්යභාරය ඉටු කරමු’ තේමාවෙන් හෙතෙම දේශනය පවත්වා තිබේ.
වර්තමානයේ කැළඹිලි සහගත ලෝක තත්ත්වයක් දක්නට ලැබෙන බව ෂී ජින්පිං මහතා එහිදී පෙන්වා දුන්නේය. අදාළ පාර්ශ්වයන් දූරදර්ශී අයුරින් සිය වගකීම් හා යුතුකම් ඉටු කළ යුතුය. වත්මන් ජාත්‍යන්තර පටිපාටිය දැඩි ලෙස ආරක්ෂා කරන චීනය, ප්‍රායෝගික බහුපාර්ශ්වවාදය අනුගමනය කරයි. ලබන වසරේ, චීනය තුන්වැනි වතාවට එපෙක් සංවිධානයේ සමුළුවේ සත්කාරකත්වය දරනු ඇත. එහිදී විවිධ පාර්ශ්වයන් සමග එක්ව හවුල් අනාගතයක් සහිත ආසියා-පැසිෆික් ප්‍රජාව ගොඩනැංවීම චීනයේ අපේක්ෂාව බව ෂී ජින්පිං මහතා සඳහන් කළේය.
ලෝකය වෙත කැපී පෙනෙන දායකත්වයක් ලබා දීම උදෙසා විවිධ පාර්ශ්වයන් සිය මුල් අභිලාෂයන් සිහි කරමින් වඩාත් උද්‍යෝගිවත් හා නම්‍යශීලීත්වයෙන් යුත් ආසියා-පැසිෆික් කලාපීය සහයෝගීතාවයෙන් ක්‍රියා කළ යුතු බව චීන ජනාධිපතිවරයා සඳහන් කළේය. මේ වෙනුවෙන්, සාමය හා ස්ථාවරත්වය ආරක්ෂා කිරීමට කලාපීය රටවල් පෙරටුගාමී කාර්යභාරයක් ඉටු කළ යුතුය. විවෘතභාවය හා සම්බන්ධීකරණය ක්‍රියාවට නංවමින් කලාපීය ආර්ථික ඒකීයකරණය හා කලාපීය නිදහස් වෙළඳ කලාප ගොඩනැංවීම තහවුරු කළ යුතු ව ඇත. සහයෝගයෙන් පොදු-ජයග්‍රාහී බවේ නියැළී සිටිමින් එකිනෙකාට ප්‍රතිලාභ සැලසීම තවදුරටත් සහතික කළ යුතු බව ද ෂී ජින්පිං මහතා පෙන්වා දී ඇත.
එමෙන් ම, පසුගිය 2020 වසරේ සිට මේ වන විට, චීන ආර්ථිකයේ වර්ධන වේගය දළ වශයෙන් 5.5%ක අගයකට ළඟා වී ඇතැයි ෂී ජින්පිං මහතා සඳහන් කළේය. මෙමගින්ලෝ ක ආර්ථික වර්ධනයට ලබා දුන් දායකත්වය 30%ක පමණ ස්ථිර මට්ටමක පවතී. සිය වෙළඳපොළ ලෝකය වෙත අඛණ්ඩ ව විවර කරන සංවර්ධනය වෙමින් පවතින රටක් වන චීනය, ගෝලීය කාර්මික හා වාණිජ තලය වෙනුවෙන් වඩාත් වැඩි සංවර්ධන අවස්ථා, යහපත් ව්‍යාපාරික පරිසරය, පුළුල් නව්‍යකරණ ඉඩප්‍රස්ථා මෙන් ම පරිසර හිතකාමී පහසුකම් ද ලබා දිය හැකි බව අවධාරණය කෙරිණ. චීනය, ලෝක කාර්මික හා වාණිජ ක්ෂේත්‍රයන්ට සුරක්ෂිතභාවයෙන් යුත් සුදුසු ආයෝජන ගමනාන්තයක් බව ද චීන ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.
